කිසිඳු බලපෑමක් හෝ මැදිහත්වීමකින් තොරව අවශ්‍යතාවය ඇති තැනට නිසි නිර්ණායක අනුව නිවාස ආධාර ලබා දෙනවා. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පළමු වසරට ඇතුලත් වන දරුවන් අපි ආදරයෙන් බාරගන්නවා.

කිසිඳු බලපෑමක් හෝ මැදිහත්වීමකින් තොරව අවශ්‍යතාවය ඇති තැනට නිසි නිර්ණායක අනුව නිවාස ආධාර ලබා දෙන බවත්, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පළමු වසරට ඇතුලත් වන දරුවන් අපි ආදරයෙන් බාරගන්නා බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

“තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක්” ජාතික නිවාස වැඩසටහනේ ගාල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් 2026 වසරේ පළමු නිවාස ආධාර ප්‍රදානෝත්සවය අමතමින් ජනවාරි 28වැනි දා ගාල්ල හෝල් දි ගෝල් ශාලාවේ දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සඳහන් කළාය.

නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශය සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හරහා ක්‍රියාත්මක වන ජාතික නිවාස වැඩසටහනට අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ නිවාස ප්‍රතිලාභීන් 250ක් වෙත රුපියල් මිලියනය බැගින් වටිනා චෙක්පත් ප්‍රදානය කිරීම මෙහි දී සිදුවිය.

උත්සව සභාව ආමන්ත්‍රණය කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේද පැවසීය.

තමන්ගේම නිවසක සිහිනය සැබෑ කර දෙන මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම ආණ්ඩුවේ විශාල බලාපොරොත්තුවක්, වසරක් තුළ ජනතාව වෙනුවෙන් ගොඩනැගෙන වැඩිම නිවාස ප්‍රමාණය ඉදි කිරීමේ අරමුණ සාක්ෂාත් කරගැනීමේ හැකියාව අමාත්‍යතුමා ඇතුළු අමාතයංශයේ නිලධාරීන්ට හැකි වන බව මට විශ්වාසයි. දරුවන් , වැඩිහිටියන් ඇතුළු සියලු ජනතවට නිදහස හා සනීපාරක්ෂාව සහිත තමන්ගේම නිවසක් තිබීම ස්ථාවරභාවයට වගේම තමන් ගැන අභිමානයටත් බලපානවා.

කිසිඳු බලපෑමක් හෝ මැදිහත්වීමකින් තොරව අවශ්‍යතාවය ඇති පිරිස් වෙත , නිසි නිර්ණායක අනුව මෙම ව්‍යාපෘතිය සඳහා තෝරා ගෙන තිබෙනවා.

නිවාස ආධාර ලැබූ ඉක්මනින් නිසි තාක්ෂණික ප්‍රමිතීන්ට අනුව නිලධාරීන්ගේ සහය ලබා ගනිමින් නිවාස ඉදිකිරීම් සිදු කරන ලෙසත් නිවස ඉදිකිරීම අවසන් වූ පසු ගෙවත්ත තුළ වගා කටයුතු ආරම්භ කරමින් ස්වයංපෝෂිත හා ලස්සන වටපිටාවක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍යවරිය ප්‍රතිලාභීන්ගෙන් ඉල්ලා සිටියා ය.

මෙහිදී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අදහස් ප්‍රකාශ කළ අග්‍රාමාත්‍යවරිය

හෙටින් ඇරඹෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙත පළමු වසරේ දරුවන් ඉතා ආදරයෙන් බාරගන්නාවා. මෙම වසරේ 06 ශ්‍රේණියට සමත්වන දරුවන්ට කිසි විටෙකත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අහිමි වෙන්න ඉඩ දෙන්නේ නැහැ.

ඒ දරුවන්ටද මෙම ක්‍රියාවලිය තුළ කිසිදු අසාධාරණයක් සිදු වීමට ඉඩ නොහරින බවත්, නව ප්‍රතිසංස්කරණ වෙනුවෙන් වූ මානව සම්පත් හා යටිතල පහසුකම් දියුණු කිරීම ඇතුළු ඉදිරි වැඩකටයුතු සිදුවෙමින් පවතින බවත් අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළා ය.

මෙහි දී උත්සව සභාව ආමන්ත්‍රණය කළ නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය එච්. එම් සුසිල් රණසිංහ,

“අපිට ඕනෙ අපේ ජනතාවට තිබුණු ජීවිතයට වඩා හොඳ ජීවිතයක් උදාකර දෙන්න. දිට්වා සුළිකුණාටුව අවසන් වී මාසයක් ඇතුළත අපි නිවාස ගොඩනැගීමේ කටයුතු ආරම්භ කරා. එහි දී අපි මුදල් ආධාර ලබා දීමේ කටයුතු සිදුකලේ ජනතාවට තිබුණු නිවසට වඩා හොඳ නිවසක් ඉදිකරන්න ඉඩ සලසා දෙන ආකාරයට. ඒ වගේම අපි විපක්ෂයෙන් ඉල්ලා සිටිනවා ජනතාව වෙනුවෙන් සිදුකරන මේ වැඩකටයුතු වෙත අකුල් හෙලන්න හෝ ආපදාවෙන් හානියට පත් ජනතාව දේශපාලන අරමුණු වෙනුවෙන් පාවිච්චි කරන්න එපා කියලා. ඒ වගේම ​“තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක්” නිවාස ව්‍යාපෘතිය හරහා බොහෝ දිස්ත්‍රික්ක සඳහා නිවාස දහසකට වැඩි ප්‍රමාණයක් ඉදි කිරීමට අවස්තාව හිමි වී තිබෙනවා. අපේ බලාපොරොත්තුව වන්නේ මේ වසරේ දී නිවාස 31000ක් සම්පූර්ණයෙන් ම සාදා නිම කිරීමයි. ඒ සඳහා අවශ්‍ය සියලු මුදල් සහ අවශ්‍ය ප්‍රතිපාදන මේ වන විටත් වෙන් කර අවසන්.” යනුවෙන් ප්‍රකාශ කළේ ය.

මෙම අවස්ථාව සඳහා නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය එච්. එම් සුසිල් රණසිංහ , නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත්, වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති නලින් හේවගේ, ධීවර හා ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ, යන මහත්ම මහත්මීන් ඇතුළුව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ගාල්ල දිස්ත්‍රික් ලේකම්තුමා ඇතුළු ප්‍රාදේශීය සහා සහ නගර සභා සභාපතිවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරීන් සහ නිවාස ප්‍රතිලාභීන් ඇතුළු පිරිසක් සම්බන්ධ විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය