බුද්ධ රශ්මි වෙසක් කලාපය සංවිධානය කිරීමේ අවසාන සාකච්ඡාව අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි

කොළඹ ගංගාරාම විහාරය මූලික කරගනිමින් මෙවර පැවැත්වෙන බුද්ධ රශ්මි වෙසක් කලාපය පිළිබඳ අවසන් සාකච්ඡාව මැයි 20 වන දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීය.

එහිදී ප්‍රධාන වශයෙන් බුද්ධ රශ්මි වෙසක් කළාපයේ සංවිධාන කටයුතු සහ වෙසක් කලාපය පැවැත්වෙන කාලය තුළ විදුලිය භාවිතය පිළිබඳ සාකච්ඡා කෙරිණි.

අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් රැස්වූ රාජ්‍ය සේවය ක්‍රමානුකූලව පවත්වාගෙන යාම සදහා වන කමිටුව, විදුලි පරිභෝජනය සඳහා පනවන ලද නීති රීති වෙසක් සතිය තුල දී ලිහිල් කිරීම සම්බන්ධව ගනු ලැබූ තීරණය පරිදි බුද්ධ රශ්මි වෙසක් කලාපය සදහා බලපැවැත්වෙන බව මෙහිදී අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී විසින් පවසන ලදි.

ඒ අනුව අවම විදුලි පිරිවැයක් සහිතව ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දෙමින් ආමිස පූජාවෙන් සැදැහැවතුන්ගේ සිත්පහන් කරවන පරිදි වෙසක් අසිරියෙන් අලංකාර කිරීමට බුද්ධ රෂ්මි වෙසක් කලාපය තුළ කටයුතු කර තිබෙන බවත්, මෙවර වෙසක් කලාපය රාත්‍රී 7.00 සිට මධ්‍යම රාත්‍රී 12.30 දක්වා පැවැත්වීමට කටයුතු කරන බවත් කොළඹ ගංගාරාම විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ පැවසූහ.

මෙම අවස්ථාවට ගංගාරාම විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමි, ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, සිවිල් ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව හා බලශක්ති අමාත්‍යාංශය , ආරක්ෂක අමාත්‍යාංශය නියෝජනය කරන නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය