සෑම ප්‍රජාවකටම සංස්කෘතික, පෞද්ගලික හා දේශපාලනික ජීවිතය කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට හැකිවන පරිදි ප්‍රතිපත්ති සැලසුම් කරනවා - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

සෑම ප්‍රජාවකටම සංස්කෘතික ජීවිතය,පෞද්ගලික ජීවිතය, දේශපාලනික ජීවිතය කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට හැකිවන පරිදි ප්‍රතිපත්ති සැලසුම් කිරීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

"සංඥා භාෂා අයිතිය නොමැතිනම් මානව අයිතිවාසිකම් අහිමිය යන්න" තේමා කර ගනිමින් බත්තරමුල්ල සුහුරුපායේ අද (23) පැවති ජාතික සංඥා භාෂා දින සැමරුම් උළෙල අමතමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේද කීය,

එක්ව අත්නොහැර සැම අතින්ම සමානාත්මතාවයෙන් යුතු සමාජයක් නිර්මාණය කිරීම රජයේ ප්‍රධාන අරමුණයි ,

සෑම ප්‍රජාවකටම සංස්කෘතික ජීවිතයක්,පවුල් ජීවිතයක්, දේශපාලනික ජීවිතයක් කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට හැකිවන ලෙස පහසුකම් සැලසීම අරමුණු කරගෙන රජය ප්‍රතිපත්ති සැලසුම් කර ක්‍රියාත්මක කරනවා.

සංඥා භාෂාව අප සියලු දෙනා ඉගෙනගැනීමෙන් අනෙකුත් පොදු භාෂාවන් මෙන්ම භාවිතා කිරීම නතුළින් එම ප්‍රජාවටද වෙනසකින් තොරව ජීවත්විය හැකි පරිසරයක් ගොඩනැගෙනවා. එවැනි පරිසරයක් තුළ මානව අයිතිවාසිකම් සුරකෙන සමාජයක් ගොඩනැගිය හැකි බව රජය විශ්වාස කරනවා යැයි අග්‍රාමාත්‍යතුමිය පැවසුවාය.

මෙහිදී අදහස් දැක් වූ සංවර්ධන ,සමාජ ආරක්ෂණ සහ ප්‍රජාසවිබල ගැන්වීමේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා,

ආබාධිත ප්‍රජාවන්හි සුවිශේෂී තත්වයන් දෙස පුළුල් ලෙස බැලීමෙන් යුක්ති සහගත සම ප්‍රවේශයක් ලබාගැනීමටත් කිසිවකු අත්නොහරින සමාජයක් ගොඩනැගීමටත් අවශ්‍ය ප්‍රධාන කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බව පැහැදිලි වෙනවා.

ඒ වෙනුවෙන් රජය මේ වනවිටත් සංඥා භාෂව පිළිබඳව පනතක් කෙටුම්පත් කරමින් තිබෙනවා. එය ඉතා කෙටිකාලයකදී පාර්ලිමේන්තුට ඉදිරිපත්කර සම්මත කර ගැනීමෙන් අනතුරුව පනත ක්‍රියාත්මක කරන්න රජය සූදානම්. එවිට අනෙක් භාෂාවන්ට සේම සංඥා භාෂාවටද සමාන පිලිගැනීමක් ලැබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා,

සංඥා භාෂාව බිහිරි ප්‍රජාව අතර පමණක් සන්නිවේදනය නොවී එය සමස්ත ශ්‍රී ලාංකීය සමාජයේම ප්‍රචලිත භාෂාවක් බවට පත්කිරීමෙන් අන්තර්කරණීය සමාජයක් නිර්මාණය කළහැකියි. ඒතුළින් එකව අත්නොහැර යන ගමනක් සනිටුහන් කිරීම මගින් බිහිරි ප්‍රජාවට ද අබාධිත නොවන ප්‍රජාවක් සේ රටේ සංවර්ධනයට උපරිම දායකත්වය ලබාදිය හැකියි.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, සංවර්ධන ,සමාජ ආරක්ෂණ සහ ප්‍රජාසවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, විදේශෘය නියෝජිතයින් බිහිරි සහ දෘෂ්‍යාබාධිත ප්‍රජාව නියෝජනය කරන විශාල පිරිසක් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය