ශ්‍රී ලංකාව ඩිජිටල් යුගයක් කරා ගෙන යාමේ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය මූලික පියවර වන්නේ නවීන තාක්ෂණයට අනුකූල වන මානව සම්පතක් නිර්මාණය කිරීමයි. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

ශ්‍රී ලංකාව ඩිජිටල් යුගයක් කරා ගෙන යාමේ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය මූලික පියවර වන්නේ නවීන තාක්ෂණයට අනුකූල වන මානව සම්පතක් නිර්මාණය කිරීම බවත් ඒ සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ වැඩි ඉඩක් වෙන් කර ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට පැවැත්වූ AI තාක්ෂණය පිළිබදව "NATIONAL AI EXPO 2025 " සම්මන්ත්‍රණය හා ප්‍රදර්ශනයෙහි ආරම්භක අවස්ථාවට එක්මෙින් අද (29) බත්තරමුල්ල මොනාර්චි ඉම්පෙරියල් හෝටලයේදී අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවාය.

ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනය එක්ව සංවිධානය කරන මෙම සම්මන්ත්‍රණය හා ප්‍රදර්ශනය සැප්තැම්බර් 29 හා 30 දෙදින පුරා බත්තරමුල්ල මොනාර්ච් ඉම්පීරියල් හෝටලයේදී පැවැත්වේ.

AI ජාතික ප්‍රදර්ශනය යනු කෘත්‍රිම බුද්ධිය පිළිබඳ නවෝත්පාදන සඳහා වූ ප්‍රමුඛතම ගමනාන්තයක් වන අතර, කෘත්‍රිම බුද්ධිය නවීන තාක්ෂණය සමග යොදා ගැනීම , පර්යේෂකයන්, ව්‍යාපාරිකයින් සහ සමාගම් අතර සම්බන්ධීකරණයක් ඇති කරමින් කෘත්‍රිම බුද්ධිය විවිධ කර්මාන්තවල දියුණුවට යොදා ගැනීම ප්‍රවර්ධනය කිරීම, පාසල් අවධියේ සිට AI තාක්ෂණය හදුන්වා දීම හා මෙවලම් භාවිතය හදුන්වා දීම මෙම සමුළුවෙහි අරමුණුයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය,

"කෘත්‍රිම බුද්ධිය යනු තාක්ෂණයක් පමණක් නෙමෙයි, එය අද අප ගන්නා තීරණ සදහා බලපාන සාධකයක් බවට පත් වී තිබෙනවා.

2030 වන විට ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය ඇමරිකානු ඩොලර් බිලියන 15ක් , එනම් දළ දේශීය නිෂ්පාදනයෙන් 12%ක් දක්වා වර්ධනය කිරීමත්, ඩිජිටල් අපනයනය ඇමරිකානු ඩොලර් බිලියන 5 දක්වා වැඩි කිරීම සහ ලක්ෂ දෙකක පමණ කුසලතා ඇති වෘත්තීය ඩිජිටල් බලකායක් නිර්මාණය කිරීම අපේ අරමුණයි.

"ඩිජිටල් ආර්ථික මාසය" ලෙස නම් කර ඇති සැප්තැම්බර් මාසයේ වඩාත් වැදගත්ම කාරණය වන්නේ ජනතාව තුළ ඩිජිටල්කරණය පිළිබඳ උනන්දුවක් ඇති කිරීමයි. ඩිජිටල් මෙවලම් මගින් අපගේ එදිනෙදා ජීවිතවල වැඩ පහසු කිරීමට සහ ලෝක ආර්ථිකය සමඟ සම්බන්ධ වීම සඳහා ප්‍රායෝගික අවස්ථා සලසනවා. දිවයින පුරා සංවිධානය කරන ප්‍රදර්ශන සහ පුහුණු වැඩසටහන් එකට එක්කරමින් අපි ඩිජිටල් කුසලතා, ව්‍යාපාරික නවෝත්පාදනය, සහ රජයේ E සේවාවන් භාවිත කිරීම ශක්තිමත් කිරීම සඳහා ක්‍රියා කළ යුතුයි.

කෘත්‍රිම බුද්ධිය, රොබෝ තාක්ෂණය, දේශගුණ විද්‍යාව වැනි නව විෂයන් හඳුන්වා දීමත් ඒ සඳහා ගුරුවරුන් 100,000ක් පුහුණුකිරීමත්, සුහුරු පන්ති කාමර සඳහා අවශ්‍ය සම්පත් සැපයීමටත් අවශ්‍ය කටයුතු අපි මේ වන විට සිදු කරගෙන යනවා.

රටේ සෑම දරුවකුටම සෑම පුරවැසියෙකුටම තාක්ෂණික මෙවලම් භාවිතයේ වාසි අත්කර දීමට අපි කටයුතු කරනවා.

අපි මේ වන විට රජයේ සේවාවන්හි පවතින සංකීර්ණතාවය අඩු කිරීමට සහ සේවා සැපයුම වඩා කාර්යක්ෂම කරන රජයේ E- සේවාවන් භාවිතා කල හැකි වේදිකා සකස් කර ක්‍රියාත්මක කරමින් සිටිනවා.

GovPay සහ මාර්ගගත ක්‍රමය ඔස්සේ රථ වාහන දඩ මුදල් ගෙවීමේ පද්ධති ව්‍යාප්ත කර ගනුදෙනු වේගවත් කිරීමෙන් සහ නව උත්පාදන ක්ෂේත්‍රය සදහා aigov.lk නම් ජාතික AI වේදිකාව හදුන්වා දෙමින් අපි තවත් පියවරක් ඉදිරියට තැබුවා.

එමෙන්ම ජාතික උපායමාර්ගයක් සහ මෙහෙයුම් මධ්‍යස්ථානයක් හරහා සයිබර් ආරක්ෂාව ශක්තිමත් කරමින් සිටිනවා. එමඟින් ඩිජිටල් වෙළඳපොළක් සඳහා අත්‍යවශ්‍ය වන ආරක්ෂාව සහ විශ්වාසය තහවුරු කරමින් යනවා.

මෙම ව්‍යාපෘති මගින් ව්‍යාපාරිකයින්ට නව වෙළඳපොළ නිර්මාණය කිරීම, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SMEs) සඳහා වන කාර්යක්ෂමතාව වැඩි කිරීම, විදේශීය ආයෝජනයන් ආකර්ෂණය කිරීම වැනි ක්‍රියාමාර්ග තුළින් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ඩිජිටල් සේවා මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට හැකි වේවි."යැයි අග්‍රාමාත්‍යවරිය පැවසීය.

මෙම අවස්ථාවට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, මොබිටෙල් ආයතනයේ සභාපති ආචාර්ය මෝතිලාල් ද සිල්වා යන මහත්වරුන් ඇතුළු ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් රැසක් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය