මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක, විශ්‍රාමලත් පිරිවෙන් පරීක්ෂක, රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති, ග්රන්ථ විශාරද, කලාභූෂණ, විනය කීර්ති ශ්‍රී ධම්මදින්න සරණපාල අතිපූජ්‍ය කෑලිගම විජිතනන්දාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙනුවෙන් සංවිධානය කරන ලද "ගෞරවාභිනන්දන" උපහාර උළෙල 2026 පෙබරවාරි 25 වන දින රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක, ආචාර්ය අග්ගමහා පණ්ඩිත නියංගොඩ ධර්මකීර්ති ශ්‍රී සංඝරක්ඛිත විජිතසිරි අභිධාන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උළෙල සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ද සහභාගී වූවාය.
අතිපූජ්‍ය කෑලිගම විජිතනන්දාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත උපහාර මංජුසාව පිළිගැන්වීම් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහ සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී දෙපළගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණ.
එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය මෙසේ පැවසුවාය,
“සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය කෑලිගම විජිතනන්ද නාහිමිපාණන් වහන්සේගේ ශාසනික සහ සමාජයීය මෙහෙවර අගය කරනු පිණිස පවත්වනු ලබන මෙම උපහාර උළෙලට සහභාගී වීමට ලැබීම මා ලද භාග්‍යයක් ලෙස සලකනවා.
උන්වහන්සේගේ ජීවන තොරතුරු දෙස බලන විට එම අත්දැකීම් අප සැමටම මහත් ආදර්ශයක් සපයනවා. සබරගමුවේ දීප්තිමත් යතිවරයාණන් වහන්සේ නමක වූ පූජ්‍ය කෑල්ලේ ශ්‍රී සරණනන්ද හිමියන්ගේ ශිෂ්‍යයකු ලෙස පැවිදි දිවියට ඇතුළත් වූ නාහිමියන්, මේ වන විට උපසම්පදාවෙන් වසර 50කට අධික කාලයක් සුවිශේෂී ශාසනික මෙහෙවරක නිරතව සිටිනවා.
විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබා, පිරිවෙන් ගුරුවරයකු සහ පිරිවෙන් පරීක්ෂකවරයකු ලෙස දශක ගණනාවක් පුරා දහස් සංඛ්‍යාත සිසු පරපුරකට නැණ පහන් දැල්වූ උන්වහන්සේ, ශාස්ත්‍රීය ග්රන්ථ රැසක් ද රචනා කර තිබෙනවා. විශේෂයෙන් පිරිවෙන් අධ්‍යාපනය ලබන සිසුන් වෙනුවෙන් උන්වහන්සේ කළ සම්භාව්‍ය සාහිත්‍ය නිර්මාණ අතිශය වටිනාකමකින් යුක්තයි.”
රත්නපුර මහවල ශ්‍රී ධර්මායතනය කේන්ද්‍ර කර ගනිමින් ප්‍රදේශවාසීන්ගේ ආධ්‍යාත්මික මෙන්ම සමාජයීය තත්ත්වය නගාසිටුවීමට නාහිමියන් කළ කැපවීම මෙහිදී කෘතවේදීව සිහිපත් කළ අග්‍රාමාත්‍යතුමිය, නාහිමිපාණන් වහන්සේට තවදුරටත් ශාසනික මෙහෙවරෙහි නිරත වීමට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කළාය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහනායක දර්ශනපති කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහනායක හිමියන්, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක පණ්ඩිත වල්බොඩ ගුණසිරි අනුනායක හිමියන්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සහ මල්වතු මහා විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පණ්ඩිත මහවෙල ධම්මක්ඛන්ධ රතනපාලාභිධාන හිමියන්, මල්වතු මහා විහාරයේ මහෝපාධ්‍යාය, රත්නපුර හා ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ හිටපු කුලපති බෙත්ගමුවේ ධම්මදින්නාභිධාන නාහිමියන්, ඇතුළු මහා සංඝරත්නය, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය සුනිල් සෙනවි, සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න , රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඒ.ඒ. විජේතුංග සහ ජානක වක්කුඹුර, රත්නපුර දිස්ත්‍රික් ලේකම් චින්තන උදාර නානායක්කාර, මහ සමන් දේවාලයේ බස්නායක නිළමේ ඉෂාන් මාපිටිගම, රත්නපුර නගරාධිපති ඉන්ද්‍රජිත් කටුගම්පොල යන මහත්ම මහත්මීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය