අප ක්‍රීඩාව තෝරගතයුත්තේ එහි ගුණාංග ජීවිතයට එකතුකරගැනීමට මිස, ජයග්‍රහණය පමණක්ම ඉලක්ක කරගෙන නොවේ. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය

අප ක්‍රීඩාව තෝරගතයුත්තේ එකමුතුකම ඇතුළු ක්‍රිඩාවේ විශිෂ්ට ගුණාංග අප තුළ වර්ධනය කරගැනීමට මිස, ජයග්‍රහණයම පමණක් ඉලක්ක කර නොගෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය පැවසුවාය.

සුගතදාස ක්‍රීඩාංගණයේදී ජුනි 22 දින පැවැත්වුණු පාසල් ජල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කළ, 50 වන පාසල් වාර්ෂික ජල ක්‍රීඩා තරගාවලියේ සාමාප්ති උළෙලට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවාය.

මෙහි දී අග්‍රාමාත්‍යවරිය කාණ්ඩ කිහිපයක පිහිනුම් සහ කිමිදුම් තරගයන්හි ජය සංකේත පිරිනැමීම සිදුකළ අතර, සමස්ත බාලක පිහිනුම් ශූරතාවය අඛණ්ඩව 20 වසරක් තිස්සේ මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලය ද, සමස්ත බාලිකා ශූරතාවය කොළඹ කාන්තා විද්‍යාලය ද , සමස්ත මිශ්‍ර පාසල් ශූරතාවය වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල විසින් ද දිනා ගන්නා ලදී.

එමෙන්ම කිමිදුම් අංශයේ සමස්ත බාලිකා ශූරතාවය කොළඹ බිෂොප් විද්‍යාලයීය කණ්ඩායම විසින් ද, බාලක ශූරතාවය කොළඹ රාජකීය විද්‍යාලය විසින්ද දිනාගනු ලැබීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අග්‍රාමාත්‍යවරිය,

“අපි ක්‍රීඩාවේදී ජය මෙන්ම පරාජයත් එකසේ විඳ දරාගත යුතු යි. ඒක අපි මුලින්ම අපේ දරුවන්ට පුරුදු කරන්න ඕන.

අධ්‍යාපනය පීඩාවක් වෙලා තියෙන කාලයකත් ක්‍රීඩාව නිසා නායකත්වය, කණ්ඩායම් හැඟීම වගේම දරාගැනීම වැනි ඉතා වැදගත් ගුණාංග වර්ධනය කරගන්න පුළුවන් වෙලා තියෙනවා.

අද දවසේ මේ දක්ෂතා දැකලා මම පුදුමයට පත්වුණා. ඇත්තටම මට හරිම සතුටුයි අපේ රටේ දරුවන්ගේ දක්ෂතා ඉතා දියුණු මට්ටමක තියෙනවා.

ඉතිහාසයේ සිටම ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරයේ ඔසවා තැබීමට ශ්‍රී ලාංකේය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකි වෙලා තියෙනවා. මම ඒ බවත් මේ අවස්ථාවේ ස්තූති පූර්වකව මතක් කරන්න කැමතියි. අද මා ඉදිරියේ මේ ඉන්න ඔබටත් එසේ ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරයට රැගෙන යාමට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ලැබේවායි කියා මම ප්‍රාර්ථනා කරනවා.” යැයි ද අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්, පාසල් ජල ක්‍රීඩා සංගමයේ සාමාජික සාමාජිකාවන්, විදුහල්පතිවරුන් සහ නෙස්ට්ලේ ලංකා පුද්ගලික සමාගමේ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය