රැකියා වෙළඳපොළට ගැලපෙන පරිදි වෘත්තීය පුහුණුව ලබා දීමේ වැදගත්කම රජය හදුනාගෙන තිබෙනවා... - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

රැකියා වෙළඳපොළ ඉලක්ක කර ගනිමින් වෘත්තීය අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම සිදු කරනවා...

ඉතා වේගයෙන් සංවර්ධනය වන නවින ලෝකය තුළ රැකියා වෙළඳපොළට ගැලපෙන පරිදි වෘත්තීය පුහුණුව ලබා දීමේ වැදගත්කම රජය හදුනාගෙන තිබෙන බවත් ඒ අනුව රැකියා වෙළඳපොළ ඉලක්ක කර ගනිමින් වෘත්තීය අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම සිදු කරනු ලබන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසී ය.

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ සැප්තැම්බර් 30 වැනි දා පැවති ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ ( NAITA) මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනය හෙවත් ජපන් ටෙක් හි පාඨමාලා සම්පූර්ණ කළ සිසු සිසුවියන් වෙත සහතිකපත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.

මෙවර 31 වන වරට පවත්වන ලද මෙම සහතිකපත්‍ර ප්‍රදාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස අග්‍රාමාත්‍යවරිය සහභාගී වූ අතර එහි දී මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනය මඟින් පවත්වන ලද පාඨමාලා තුළ ඉහළම දක්ෂතා දැක් වූ සිසුන්ට ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍යවරිය විසින් සිදුකරන ලදී.

ඉන් අනතුරුව උත්සව සභාව ආමන්ත්‍රණය කළ අග්‍රාමාත්‍යවරිය වසර 50 කට වැඩි ඉතිහාසයක් ඇති ජපන ටෙක් ආයතනය මෙරට මෝටර් රථ ඉංජිනේරු හා තාක්ෂණ අංශයේ ඉතාමත් හොද පුහුණු ආයතනයක් ලෙස සිදුකරන සේවය අගය කළ අතර තරුණ තරුණියන්ට ඇති විරැකියා ගැටළුව අවම කිරීමට වෘත්තීය අධ්‍යාපන අංශ දියුණු කිරීම ඉතා වැදගත් බව කියා සිටියා ය.

එමෙන්ම වෘත්තීය පුහුණුව ලබා දීම වෙනුවෙන් පවතින . රාජ්‍ය හා පෞද්ගලික ආයතන හරහා නිසි පුහුණුවක් ලබා දෙන්නේ ද , ඒ හරහා රැකියාගත කිරීම් පවතින්නේ කුමන මට්ටමකද යන කාරණා පිළිබඳව පවතින ගැටලු අවම කිරීම වෙනුවෙන් රජය මේ වනවිටත් කටයුතු කරමින් සිටින බව අගමැතිනිය පැවසී ය.

වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරිය සහතික ලැබූ සිසු සිසුවියන් අමතමින් මෙසේද කීය,

" අද ඔබ මේ සහතිකපත්‍රය ලබාගෙන මෙතනින් පිටවෙන්නෙ අධ්‍යාපනයක් හා පුහුණුවක් ලැබූ පුරවැසියෙක් හැටියට. ඒ වගේම ඔබ ඔබේ පුරවැසි වගකීමත් ඉෂ්ට කරයි කියා අපි බලාපොරොත්තු වෙනවා. මෙලෙස පුහුණුවක් ලැබීම ඔබේ වරප්‍රසාදයක්. ඒ වරප්‍රසාදය ලැබුවා වගේම මේ රටේ පුරවැසියකු ලෙස ඔබට ඉටුකිරීමට ඇති වගකීම් ඉටු කරන්නට සහ රටේ සංවර්ධනයට සක්‍රීයව දායකවීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් ඒ හරහා අපි සියලුදෙනාටම පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ගොඩනගා ගන්නට එක්වන ලෙස ඔබට ආරාධනා කරනවා. " යනුවෙන් පැවසී ය.

මෙම අවස්ථාවට සහභාගී වූ මහජන ආරක්ෂාව හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල මහතා උත්සව සභාව ආමන්ත්‍රණය කරමින් අන්තරායකර ඖෂධ මධ්‍යස්ථාන හරහා පුනරුත්ථාපනය වන තරුණ තරුණියන් පුනරුත්ථාපන කාල සීමාවෙන් අනතුරුව වෘත්තීය අධ්‍යාපන පාඨමාලා වෙත යොමු කිරීමේ වැදගත්කම අවධාරණය කළේ ය.

එමෙන්ම නව රජය රටේ සංවර්ධන වෙනුවෙන් විශාල කාර්‍යයන් රැසක් සිදුකරමින් සිටින මෙම යුගයේ එම සංවර්ධන කාර්‍යයන් වෙනුවෙන් මෙවැනි පාඨමාලා හදාරන තරුණ තරුණියන්ගේ සහයෝගය ඉතා වැදගත් වන බව අමාත්‍යවරයා කියා සිටියේ ය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවෙ ජපන් නියෝජ්‍ය තානාපති Naoaki Kamoshida, ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ ( JICA) ශ්‍රි ලංකාවේ ප්‍රධාන නියෝජිත Kenji Kuronuma, ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරියේ ( NAITA) සභාපති අබ්දුල් සත්තාර්, මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ අධ්‍යක්ෂ ඩී. එල්. ඒ. කේ දිසානායක , අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් හිමාලි අතාවුදගේ යන මහත්ම මහත්මීන් ඇතුළු සම්භාවනීය ආරාධිත අමුත්තන්, කාර්මික අභ්‍යාස ආයතනයේ ආචාර්ය මණ්ඩලය, සහතිකපත්‍රලාභි සිසු සිසුවියන් හා ඔවුන්ගේ දෙමාපියන් ඇතුළු පිරිසක් සහභාගී විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය