“පරිවර්තනීය වෙනසක් සඳහා ආකල්පමය හා සංස්කෘතික වශයෙන් දියුණු පුරවැසියෙකු බිහි කළ යුතුයි” - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

​අප බලාපොරොත්තු වන ආකල්පමය වශයෙන් දියුණු, ශිෂ්ට සම්පන්න පුරවැසියා බිහිවීමට අවශ්‍ය පදනම වන්නේ පාසල් කාලය තුළ ලබන අත්දැකීම් සමුදාය බවත්, රජය විසින් දහතුන් වසරක පාසල් අධ්‍යාපන කාලයක් තහවුරු කර ඇත්තේ එම අත්දැකීම් ලබා ගැනීමට ශිෂ්‍යයාට ඉඩහසර ලබාදීම පිණිස බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.

2026 මැයි 15 දින සව්සිරිපාය පරිශ්‍රයේදී පැවති, ටවර් හෝල් රඟහල පදනම විසින් 30 වැනි වරටත් සංවිධානය කරන ලද “2024/2025 සමස්ත ලංකා පාසල් නාට්‍ය තරගාවලියේ” සම්මාන ප්‍රදානෝත්සවයට ප්‍රධාන ආරාධිත ලෙස සහභාගි වෙමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව පැවසුවාය.

​එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය මෙසේද සඳහන් කළාය,

​“පාසල් සිසුන් මෙවැනි තරගාවලි සඳහා ඉදිරිපත් වී ජයග්‍රහණ ලැබුවත් නොලැබුවත්, කලා හා සංස්කෘතික කටයුතුවලට සම්බන්ධ වීමෙන් ලබන අත්දැකීම් ඔවුන්ගේ ජීවිතවලට මෙන්ම රටට අවශ්‍ය දියුණු ආකල්ප සහිත පුරවැසියා බිහි කිරීමටද මහෝපකාරී වෙනවා. එහෙත් වර්තමානයේ වැඩිහිටියන් තුළින් දරුවන්ගේ පාසල් අධ්‍යාපනය ඉක්මනින් හමාර කර ඔවුන් කඩිනමින් වැඩිහිටියන් බවට පත් කිරීමට උත්සාහ ගන්නා ප්‍රවණතාවයක් දැකිය හැකියි. එය රටට අවශ්‍ය දියුණු පුරවැසියන් බිහි කිරීම සඳහා සුදුසු තත්ත්වයක් නොවෙයි.”

​“පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්” ලබාදීමේ රජයේ ප්‍රතිපත්තිය තුළින් රටේ පරිවර්තනීය වෙනස්කම් ගණනාවක් සිදු කළ යුතුව තියනවා. වර්තමානයේ පවතින ආර්ථික, දේශපාලන හා සමාජයීය අර්බුද මිනිස් ජීවිත හා බද්ධ වී පවතින බැවින්, ඒවා නීතියෙන් පමණක් විසඳිය නොහැකියි. ඒ සඳහා සමාජයේ පැහැදිලි ආකල්පමය වෙනසක් සිදු විය යුතුයි.

අප අපේක්ෂා කරන පරිවර්තනීය වෙනස හරහා ආකල්පමය හා සංස්කෘතික වශයෙන් දියුණු මිනිසෙකු බිහි කිරීමට කලාව තුළින් මහඟු මෙහෙවරක් කළ හැකිය. සමාජයට අවශ්‍ය, හොඳ පරිකල්පනයක්, සහකම්පනයක් මෙන්ම නායකත්ව ගුණාංග සහිත නිර්මාණශීලී පිරිපුන් යහපත් පුරවැසියන් බිහි කිරීමේ අරමුණින් අධ්‍යාපන ක්‍රියාවලිය තුළද පරිවර්තනීය වෙනසක් සිදු කළ යුතුයි.

​පාසල් දිවියේදී වේදිකාව මත විවිධ නිර්මාණවලට දායක වන සියලු දෙනා වෘත්තීය කලාකරුවන් නොවූවත්, එමඟින් ලබන අත්දැකීම් ඔවුන් සමාජය තුළ නිර්මාණශීලී විශිෂ්ට මිනිසුන් බවට පත් කිරීමට විශාල සවියක් . හොඳ පොතක් කියවීමෙන් හෝ උසස් ගණයේ චිත්‍රපටියක් නැරඹීමෙන් මිනිස් මනස යහපත් තැනකට රැගෙන යන අතර, එය නව මානයන් ඔස්සේ සිතීමට දොරටු විවර කර දෙයි. එමඟින් නව ලොවක් බිහි කිරීම සඳහා අවශ්‍ය ආකල්පමය දියුණුව ඇති වෙනවා.

​දරුවන්ගේ ජීවිතවලට අතිශයින් වැදගත් වන මෙවැනි තීරණාත්මක අත්දැකීම් ලබා දීමට මැදිහත් වන ගුරුවරුන් සහ දෙමාපියන් ඉටු කරන්නේ අත්‍යවශ්‍ය මෙහෙවරක්. දක්ෂ මෙන්ම සංවේදී දරු පරපුරක් තුළින් රටට අවශ්‍ය නායකයින් බිහි වන අතර, ඒ සඳහා පසුබිම සකස් කරන මෙවැනි තරඟාවලි අතිශයින් වැදගත් බව අග්‍රාමාත්‍යතුමිය පැවසුවාය.

​මෙම අවස්ථාවට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා, ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල්තුමා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වූහ.

​අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය