රාජ්‍ය භාෂා පරිවර්තක සේවයේ වැටුප් ගැටළුව අගමැතිනියගේ අවධානයට

රාජ්‍ය භාෂා පරිවර්තක සේවයේ නිලධාරීන් මුහුණ දෙන ගැටළු පිලිබඳ සාකච්ඡා කිරීම සඳහා රාජ්‍ය භාෂා පරිවර්තක සේවා සංගමයේ නිලධාරීන් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් දෙසැම්බර් 16 දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විය.

භාෂා පරිවර්තක සේවයේ පවතින වැටුප් පිළිබඳ ගැටළුව, ශ්‍රේණි අතර පවතින වැටුප් විෂමතාව සහ පුරප්පාඩු පිලිබඳ මෙහිදී අවධානය යොමු කෙරිණ.

පසුගිය රජයන් විසින් රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකිරීමේදී විධිමත් හා තර්කානුකූල ක්‍රමවේදයකින් සිදු නොකිරීම හේතුවෙන් මෙවැනි ගැටළු ගණනාවක් ඇති වී තිබෙන බවත් , වැටුප් විෂමතා පිළිබඳ සාකච්ඡා කරමින් පවතින බවත් මෙහිදී අග්‍රාමාත්‍යතුමිය පැවසූ අතර ලබන වසර තුළ මේ සඳහා සාධනීය ක්‍රියාමාර්ගයක් ගැනීමට නියමිත බවද පැවසුවාය.

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, රාජ්‍ය භාෂා පරිවර්තක සේවා සංගමයේ සභාපති මුජිබර් රහුමාන් ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය