’ආර්ථික පරිවර්තනය සඳහා නවෝත්පාදනය’

අද (ජුනි 19) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී ’ආර්ථික පරිවර්තනය සඳහා වූ නවෝත්පාදන’ මැයෙන් ආසියානු සංවර්ධන බැංකුව (ADB) මඟින් සංවිධානය කරන ලද Serendipity Knowledge වැඩසටහනට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහභාගී වූවා ය.

මෙම වැඩසටහන, ජාතික නවෝත්පාදනය ශක්තිමත් කිරීම සඳහා රජය සහ ජාත්‍යන්තර විශේෂඥයින් ඇතුළු අනෙකුත් පාර්ශවකරුවන් අතර දිගුකාලීන සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීම සම්බන්ධ ගැටළු පිළිබඳ දැනුම බෙදා ගැනීමේ අරමුණින් ආසියානු සංවර්ධන බැංකුව විසින් සංවිධානය කරනු ලබන වැඩසටහනකි.

සමාරම්භක අවස්ථාව අමතමින් ආර්ථික අර්බුදයෙන් සහ මධ්‍යම ආදායම් උගුලෙන් මිදීම සඳහා නවෝත්පාදනයේ අවශ්‍යතාවය අවධාරණය කළ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, පෞද්ගලික අංශය සමඟ සහයෝගයෙන් යුතුව නවෝත්පාදනයන් සඳහා ක්‍රියාකාරීව සම්බන්ධ වෙමින්, නවෝත්පාදනයන් ප්‍රවර්ධනය කිරීමට සහ ප්‍රතිපත්තිමය දිශානතීන් සැකසීමට රජය කැපවී සිටින බව අවධාරණය කළා ය.

තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය, ශ්‍රී ලංකාවේ නවෝත්පාදනයන් සඳහා ශක්තිමත් පදනමක් තිබුණ ද, සම්බන්ධීකරණයේ පවතින දුර්වලතා හේතුවෙන් ගෝලීය නවෝත්පාදන දර්ශකයේ (Global Innovation Index) රටවල් 113ක් අතුරින් ශ්‍රී ලංකාව 89 වැනි ස්ථානයට පත්ව ඇති බව සඳහන් කළා ය. තව ද, දශක ගණනාවක් පුරා උසස් අධ්‍යාපන හා පර්යේෂණ සඳහා ප්‍රමාණවත් අවධානයක් යොමු වී නැති බවත්, පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා දැනට වැය කරන මුදල දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 0.1%ක් පමණක් වන බවත් සඳහන් කළා ය.

එම නිසා, ඉදිරි පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා ප්‍රතිපාදන වැඩි කිරීමට මෙන්ම උසස් අධ්‍යාපනය සඳහා උපායමාර්ගිකව ආයෝජනය කිරීමට රජය කැපවී සිටින බව ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා ය.

මෙම අවස්ථාවට ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික දූත මණ්ඩලයේ අධ්‍යක්ෂ Takafumi Kadono මහතා, අග්‍රාමාත්‍ය ලේකම්, ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා, උසස් අධ්‍යාපන, අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුගමුව, සහ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල නියෝජනය කරමින් නිලධාරීන් සහ පීඨ සාමාජිකයින් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය