ද්විත්වා සුළි කුණාටුවෙන් හානි වූ ස්ථාන ඇතුළු ඉදිරි සංවර්ධන කටයුතු සඳහා මේ වන විට රජයෙන් බොහෝ මුදලක් වෙන් කර ඇති බවත්, අදාළ ඉදිරි කිරීම් කටයුතුවලට අවශ්‍ය තාක්ෂණික නිලධාරින්ගෙන් සමන්විත මානව සම්පත් සපයා ගැනීම මේ වන විට මුහුණ දෙන අභියෝගයක් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
මල්වතු, අස්ගිරි උභයවිහාරික මහා නාහිමිවරුන් බැහැ දකිමින් ජුන් 19වන දින මහනුවරදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සඳහන් කළාය.
මහනුවර, මල්වතු මහා විහාරයේ වැඩවසන මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නායක හිමිපාණන් වහන්සේ සහ මල්වතු පාර්ශ්වයේ අනුනායක හිමිවරුන් වන අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි නාහිමියන් සහ අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියන් බැහැ දැකීමට පැමිණි අග්‍රාමාත්‍යතුමිය එහිදී සුහද සාකච්ඡාවක ද නිරත විය.
අනතුරුව ශ්‍රී ලංකාවේ සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ වත්මන් මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන මහා නායක මාහිමිපාණන් වහන්සේ සහ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක නාරම්පනාවේ ආනන්ද නායක හිමියන්ද බැහැ දැකීමට අග්‍රාමාත්‍යතුමිය පැමිණියාය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යතුමිය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල වත්මන් තත්ත්වය පිළිබඳ උන්වහන්සේලා දැනුවත් කළ අතර පවතින ගුරු හිගය පියවීමට ඉදිරියේදී ගුරුවරුන් බඳවා ගැනීම සිදු කරන බවත්, පැවති ගුරු විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම මේ වන විට සිදු කරන අතර සමත්වන පිරිස ප්‍රායෝගික පරික්ෂණයකින් පසු කඩිනමින් බඳවා ගැනීමට කටයුතු තරන බව ද පැවසුවාය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය