අග්‍රාමාත්‍ය කාර්යාලය

ශ්‍රී ලංකා ප්‍ර‍ජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයාගේ නිල රාජකාරි කටයුතු සිදුකරන අග්‍රාමාත්‍ය කාර්යාලය, රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුකූලව ආර්ථික හා සමාජීය සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනිම උදෙසා අවශ්‍ය මඟපෙන්වීම, සම්බන්ධීකරණය හා නායකත්වය ලබා දීම සිදුකරනු ලබයි.

එමෙන්ම, කාලීන අභියෝග හමුවේ නොබියව, තිර අදිටනින් යුතුව එම අභියෝග සඳහා කඩිනම් පිළියම් යෙදීමටත්, ජනතාවගේ අපේක්ෂාවන් සඵලකර දීම සඳහා දුෂ්කර කාල සීමාවන්හි, ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමින් එකී අපේක්ෂාවන් ඉටුකිරීමට අවශ්‍ය නායකත්වය ලබා දීම අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් සිදු කරනු ලබයි. තවද,රටේ සංවර්ධන කාර්ය සඵල කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය හා ජනතා කේන්ද්‍රීය ප්‍රවේශයක් තුළින් තිරසර ලෙස රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය දායකත්වය, මඟපෙන්වීම හා මනා සම්බන්ධීකරණයක් සැපයීම හා ගෝලීය අන්‍යෝන්‍ය සබඳතා පුළුල් කිරීමේ අරමුණින් රාජ්‍යතාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙන් දායකත්වය සැපයීමත්,අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් නිරන්තරවමසිදු කරනු ලබයි.

දැක්ම

“ස්වාධින ස්වෛරී හා සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක්”

මෙහෙවර

“ශ්‍රී ලාංකේය ජනතාවගේ අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම පිණිසත්, ඔවුන්ගේ ජීවන තත්ත්වය නංවාලීම පිණිසත්, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් යහපාලනයෙන් යුත් විශිෂ්ට රාජ්‍ය යාන්ත්‍ර‍ණයක් උදෙසා අවැසි නායකත්වය සැපයීම”

තීරණ ගැනීමේදී කාන්තාවන් බැහැර කිරීම අහඹු සිදුවීමක් නොවේ, එය ස්ත්‍රී පුරුෂ සමාජභාවය අනුව ගොඩනගා ගත් බල ධූරාවලියක ප්‍රතිඵලයක්. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

කාන්තාවන්ට විශ්වාසයෙන් යුතුව නායකත්වය ලබා දිය හැකි පරිසරයන් නිර්මාණය කිරීමට නම් ආයතනික සහ බලය බෙදී යන ව්‍යුහයන්හි පරිවර්තනයක් සිදු කළ යුතුයි.

ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන ලෝක ආර්ථික සංසදයේ 56 වන වාර්ෂික රැස්වීමට සමගාමීව ලෝක කාන්තා මන්දිරයේදී පැවැත්වූ World Woman Davos Agenda 2026 සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ජනවාරි 21 වන දින සහභාගී වූවා ය.

"වෙනස්වන ලෝකයට නායකත්වය දෙන කාන්තාවන් (Women Leading the Changing Global Order)" යන තේමාව යටතේ සිය දේශනය සිදු කළ අග්‍රාමාත්‍යවරිය, ලොව පුරා කාන්තාවන් දේශපාලන, ආර්ථික සහ සමාජ ක්ෂේත්‍රයන් නියෝජනය කරමින් සිටින නමුත්, කාන්තාවන් වැටුප් නොලබමින් සිදු කරන රැකබලා ගැනීමේ කටයුතු, අවිධිමත් ශ්‍රම දායකත්වය සහ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය තුළ ඔවුන් ලබා දෙන දායකත්වයන් තවමත් සමාජය හඳුනා ගෙන නොමැති බව පවසා සිටියා ය.

තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය,

දේශපාලන දෘෂ්ටි කෝණයෙන් බලන විට, තීරණ ගැනීමේදී කාන්තාවන් බැහැර කිරීම අහඹු සිදුවීමක් නොවේ; එය කලක් තිස්සේ පවත්වා ගෙන යන ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත ගොඩනගා ගත් බල ධූරාවලියක ප්‍රතිඵලයක්. නායකත්වය ලබා දෙන කාන්තාවන්ට, විශේෂයෙන් දේශපාලන ක්ෂේත්‍රයේ නියැලී සිටින කාන්තාවන්, හිරිහැර, අපහාස සහ ආන්තිකකරණය නිසා එල්ල වන ප්‍රහාර නිසා බොහෝ විට නායකත්වයෙන් ඉවත් වීමට හෝ ඉන් වැළකී සිටීමට කටයුතු කරනවා.

මෙම බාධකවලින් කාන්තාවන් ආරක්ෂා කිරීම කියන්නේ හුදෙක් ආරක්ෂාව පිළිබද දෙයක් නොවේ. එය, කාන්තාවන්ට සිය ස්වාධීනත්වය, අධිකාරිය සහ විශ්වාසය සමඟ නායකත්වය ක්‍රියාත්මක කළ හැකි පරිසරයන් නිර්මාණය කිරීමේදී ආයතනික සහ බල ව්‍යුහයන්හි පරිවර්තනයක් කිරීම හරහා සිදු විය යුතු දෙයක්.

දේශපාලන කැපවීම එහි ජනතාවගේ ඔරොත්තු දීමේ හැකියාව සමඟ සමපාත වූ විට කළ හැකි දේ ශ්‍රී ලංකාව පෙන්නුම් කරලා තිබෙනවා. එයට හොඳම නිදසුන ලෙස පළමු වරට, කාන්තාවන් 20 දෙනෙකු පාර්ලිමේන්තුවට තේරී පත් වීමෙන් අපගේ වත්මන් රජය යටතේ දේශපාලන නියෝජනයේ ඓතිහාසික ප්‍රගතියක් ලබලා තිබෙනවා.

එයින් පිළිබිඹු වන්නේ ඒ දැක්ම ඉදිරි දර්ශනයකට පමණක් සීමා වී නොමැති බවයි. සියල්ල ඇතුළත් පාලනයක් කරා නව රජයේ කැපවීම එයින් පිළිබිඹු වෙනවා.

නායකත්වය යනු පවතින අසුන්වලට සීමා වීම පමණක් නොව, පවත්නා පද්ධතින් ප්‍රතිව්‍යුහගත කිරීම බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා ය. ස්ත්‍රීවාදී, අන්තර් නායකත්වය සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම අග්‍රාමාත්‍යවරිය නැවත තහවුරු කළ අතර, කාන්තාවන් සහ ආන්තිකකරණයට ලක් වූ ප්‍රජාවන් සහභාගිවන්නන් පමණක් නොවන බවත්, අනාගත ලෝකය හැඩගස්වන ප්‍රතිපත්තිවල ප්‍රධාන නිර්මාණකරුවන් බව පවසා සිටියා ය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

අග්‍රාමාත්‍යවරිය ලෝක ආර්ථික සමුළුවේදී යුරෝපා සංගමයේ, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි සහ ආයතනික නියෝජිතයින් සමඟ ඉහළ මට්ටමේ සාකච්ඡා පවත්වයි.

ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හි පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සමගාමීව, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ජනවාරි 21 වන දින යුරෝපීය සංගමය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ ගෝලීය පෞද්ගලික අංශයේ නියෝජිතයින් සමඟ සම්බන්ධ වෙමින් ඉහළ මට්ටමේ ද්විපාර්ශ්වික සාකච්ඡා මාලාවකට සහභාගී වූවා ය.

එහිදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හදිසි අවස්ථා සහ අර්බුද කළමනාකරණය පිළිබඳ යුරෝපීය කොමසාරිස් Hadja Lahbib මහත්මිය හමුවිය. දිට්වා සුළි කුණාටුවෙන් පසු යුරෝපීය සංගමය සහ එහි සාමාජික රටවල් විසින් ලබා දුන් සහයෝගය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කෘතඥතාව පළ කළ අග්‍රාමාත්‍යවරිය, ශ්‍රී ලංකාව හදිසි ආපදා තත්ත්වයන්ට මුහුණ දීම සඳහා සූදානම් කිරීම සහ රට යළි ගොඩ නැගීමේ ක්‍රියාවලිය සඳහා යුරෝපා සංගමයේ අඛණ්ඩ සහයෝගය අපේක්ෂා කරන බව පවසා සිටියා ය. අග්‍රාමාත්‍යවරිය ලෝක බැංකුවේ GRADE වාර්තාවේ සඳහන් තොරතුරු කොමසාරිස්වරයා සමඟ බෙදා ගත් අතර ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ නැවත ගොඩ නැගීම සඳහා යුරෝපා සංගමයේ අඛණ්ඩ සහයෝගය බලාපොරොත්තු වන බව පවසා සිටියා ය.

එමෙන්ම අග්‍රාමාත්‍යවරිය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන නියෝජනය කරන Alexander De Croo මහතා හමුවිය. ශ්‍රී ලංකාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය අතර පවතින ශක්තිමත් හවුල්කාරිත්වය අගය කළ අග්‍රාමාත්‍යවරිය ගංවතුර සහනාධාර සහ ජන ජිවිතය යථා තත්ත්වයට පත් කර ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ලබා දුන් සහයෝගය පැසසුමට ලක් කළා ය. පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලැබුණු ජනවරමට සාධාරණයක් ඉටු කරමින්, මහජන විශ්වාසය, යහපාලනය සහ අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් සඳහා ශක්තිමත් සමාජ ආරක්ෂා වැඩපිළිවෙළක් සකස් කරමින් ජනතාවගේ අපේක්ෂාවන් ඉටු වන ජාතියක් ගොඩ නැගීම කෙරෙහි රජය අවධානය යොමු කර ඇති බව ඇය තවදුරටත් සඳහන් කළාය.

එමෙන්ම A.P. Moller Holding (MAERSK) හි සභාපති වන Robert M. Uggla මහතා සමඟ ද අග්‍රාමාත්‍යවරිය සාකච්ඡාවකට එක් වූවා ය. එහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන කටයුතු සඳහා සහාය වීමට පෞද්ගලික අංශය සමඟ සම්බන්ධ වීම සහ සහයෝගීතාවය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව අවධානය යොමු විය.

රට නැවත ගොඩ නැගීම, සංවර්ධනය කිරීම සහ දිගුකාලීන ආර්ථික ස්ථාවරත්වය ළඟා කර ගැනීමට ජාත්‍යන්තර හවුල්කරුවන් සහ ගෝලීය කොටස්කරුවන් සමඟ ශ්‍රී ලංකාව ගෙන යන අඛණ්ඩ වැඩපිළිවෙල පිළිබඳ මෙම සාකච්ඡාවලින් අවධාරණය විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

’සංචාරක කර්මාන්තය සංස්කෘතිය, වටිනාකම්, ප්‍රතිපත්ති, ජාත්‍යන්තර ආකර්ෂණය සහ විශ්වාසය මඟින් ලෝකයට බලපෑම් කළ හැකි මෙවලමක්,’ - Davos හි ගෝලීය සංසදය අමතමින් අග්‍රාමාත්‍යවරිය පවසයි.

ලෝක ආර්ථික සංසදය (World Economic Forum) සමගාමීව 2026 ජනවාරි 20 වන දින Piz Buin Davos හි Euronews මධ්‍යස්ථානයේ පැවති “Tourism as Soft Power and Diplomatic Capital” යන තේමාව යටතේ සංවිධානය කළ සංවාදයකට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහභාගී වූවාය.

සංචාරක ප්‍රවේශය සහ ජනතාව අතර සම්බන්ධතා ගොඩනැගීම මඟින් ජාත්‍යන්තර විශ්වාසය, සංස්කෘතික හුවමාරුව සහ කලාපීය සහයෝගීතාව ශක්තිමත් කරගත හැකි ආකාරය පිළිබඳව අවධානය යොමු කිරීම මෙම සංවාදයේ ප්‍රධාන අරමුණ විය. මෙම සාකච්ඡාවට තුර්කි රාජ්‍ය සංවිධානයේ මහලේකම් කුබාන් ඔමරලියෙව් (Kuban Omiraliyev) මහතා සහ සවුදි අරාබියේ Aseer Investment සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි (CEO) Meshari Alnahar මහතා එක් වූහ.

නිරන්තර අර්බුදකාරී තත්ත්වයන්ට මුහුණ දෙන ලෝකයක බලාපොරොත්තුව, නැවත ගොඩ නැගීම සහ ඔරොත්තු දීමේ හැකියාව පිළිබඳ කතා කිරීමේ දී ශ්‍රී ලංකාව කදිම උදාහරණයක් බවත්, දේශගුණික විපර්යාස, භූ-දේශපාලනික අස්ථාවරතා සහ ආර්ථික අස්ථාවරතා යන වේගයෙන් වෙනස් වන ගෝලීය රටාවන් මධ්‍යයේ සංචාරක කර්මාන්තය සුවිශේෂී සහ වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවත් අග්‍රාමාත්‍යවරිය ගෝලීය ප්‍රවණතා පිළිබඳ අදහස් දක්වමින් අවධාරණය කළාය. සංචාරක ව්‍යාපාරය ආර්ථික ක්ෂේත්‍රයක් ලෙස පමණක් නොව, ජීවනෝපායන් ආරක්ෂා කරන, සමාජීය ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කරන සහ ජාත්‍යන්තර සහයෝගීතාව වර්ධනය කරන වැදගත් රාජ්‍ය තාන්ත්‍රික මෙවලමක් බව ද ඇය තවදුරටත් සඳහන් කළාය.

ශ්‍රී ලංකාව මෑත කාලයේදී මුහුණ දුන් අත්දැකීම් සඳහන් කරමින්, දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ බලපෑම් ඇතුළු විවිධ අර්බුද තත්ත්වයන් මධ්‍යයේ වුවද රටේ සංචාරක කර්මාන්තය ශක්තිමත් ලෙස නැවත ගොඩනැගීමට හැකි වූ ආකාරය පිළිබඳව අග්‍රාමාත්‍යවරිය පැහැදිලි කළාය. විනිවිදභාවයෙන් යුතුව අර්බුද කළමනාකරණය කිරීම සහ ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ උපායමාර්ගිකව සම්බන්ධ වීම හරහා සංචාරකයින්ගේ විශ්වාසය පවත්වා ගැනීමට හැකි වූ බවත්, එමඟින් අභියෝගාත්මක තත්ත්වයන් යටතේ පවා වාර්තාගත සංචාරක පැමිණීම් වාර්තා කිරීමට හැකි වූ බවත් ඇය අවධාරණය කළාය.

දේශගුණික මූල්‍යකරණය, ඩිජිටල් පරිවර්තනය, ස්ත්‍රී–පුරුෂ සමානාත්මතාවය සහ ප්‍රමිතියකින් යුත්, දීර්ඝකාලීනව තිරසාර සංචාරක කර්මාන්තයක් ගොඩනැගීමේ වැදගත්කම ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළාය. සංචාරක ව්‍යාපාරය ලොව පුරා මිලියන ගණනක රැකියා අවස්ථා සඳහා මං විවර කරන බවත්, විශේෂයෙන්ම කාන්තාවන් සහ අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් සඳහා සාධාරණ හා සමාන අවස්ථා සහතික කිරීම සඳහා සියල්ල ඇතුළත් ප්‍රතිපත්ති හඳුන්වා දීම අත්‍යවශ්‍ය බවත් ඇය තවදුරටත් පෙන්වා දුන්නාය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවේ 56 වන වාර්ෂික සමුළුවේදී 

අගමැතිනිය  ලෝක ආර්ථික සමුළුවේ ඉහළ පෙළ නියෝජිතයින් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වෙයි.

ජනවාරි 20 වන දින ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැති  ලෝක ආර්ථික සමුළුවේ 56 වන වාර්ෂික රැස්වීමට සහභාගී වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ලෝක ආර්ථික සමුළුවේ  ඉහළ පෙළ නියෝජිතයින් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත විය. 

එහිදී ජාත්‍යන්තර හවුල්කාරිත්වය පිළිබඳ යුරෝපා සංගමයේ කොමසාරිස් Jozef Síkela මහතා සමඟ  ද්විපාර්ශ්වික සාකච්ඡාවලට එක් වූ අග්‍රාමාත්‍යවරිය, ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර සහයෝගීතාව ශක්තිමත් කරමින් දෙපාර්ශවයේ හවුල්කාරිත්වය ඉදිරියට ගෙන යාම කෙරෙහි අවධානය යොමු කෙරිණ.

අනතුරුව  අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය  WEF කොන්ග්‍රස් මධ්‍යස්ථානයේදී ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති සහ සභාපති වන Masato Kanda මහතා හමුවිය. ශ්‍රී ලංකාව සහ ආසියානු සංවර්ධන බැංකුව අතර පවත්නා සම්බන්ධතාවය  සහ අනාගත සහයෝගීතාවය ශක්තිමත් කිරීම කෙරෙහි මෙහිදී අවධානය යොමු විය.

Menzies ගුවන් සේවා සමාගමේ සභාපති Hassan El Houry මහතා සමඟ සාකච්ඡාවකට එක් වූ අග්‍රාමාත්‍යතුමිය එහිදී ගුවන් සේවා කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡාවක ද නිරත වූවාය.
 
ලෝක ආර්ථික සංසදයට සමගාමීව Davos, Piz Buin හි Euronews Hub හි පැවති ගෝලීය සංචාරක සංසදයේ ඉහළ පෙළ සංවාදයකට ද අග්‍රාමාත්‍යවරයා සහභාගී විය.

මෙම අවස්ථාවට කම්කරු අමාත්‍ය  සහ මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය.

ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්ව යයි.

2026 ජනවාරි 19 සිට 23 දක්වා ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන ලෝක ආර්ථික සංසදයේ (WEF) 56 වන වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ජනවාරි 19 වන දින උදෑසන දිවයිනෙන් පිටත්ව ගියා ය.

’A Spirit of Dialogue’ යන තේමාව යටතේ පවත්වනු ලබන 2026 ලෝක ආර්ථික සංසදය සඳහා රාජ්‍ය නායකයින්, ප්‍රමුඛ බහුජාතික සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ තාක්ෂණ නවෝත්පාදකයින් ඇතුළු ගෝලීය නායකයින් 3,000 කට අධික සංඛ්‍යාවක් සහභාගී වනු ඇත.

මෙම සංචාරය අතරතුර, අග්‍රාමාත්‍යවරිය සහ ජාත්‍යන්තර නායකයින්, ගෝලීය ආයතන ප්‍රධානීන් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් අතර ඉහළ මට්ටමේ ද්විපාර්ශ්වික සාකච්ඡා මාලාවක් පැවැත්වීමට නියමිතය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

පුත්තලම වේලාසීය රජයේ විද්‍යාලයට ගුරු නේවාසිකාගාරයක් - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

"දෙමාපියන්ටත්, දරුවන්ටත් බරක් නොවන අධ්‍යාපන පද්ධතියක් අපි නිර්මාණය කරනවා."

ගුණාත්මක අධ්‍යාපනයක අවශ්‍යතාව වටහා ගනිමින් ගුණාත්මක අධ්‍යාපනයක් දරුවන්ට ලබාදීමට දෙමාපියන් කරන කැපකිරීම අගය කරනවා

දෙමාපියන්ටත්, දරුවන්ටත් බරක් නොවන අධ්‍යාපන පද්ධතියක් අපි නිර්මාණය කරන බවත්, ගුණාත්මක අධ්‍යාපනයක අවශ්‍යතාව වටහා ගනිමින් ගුණාත්මක අධ්‍යාපනයක් දරුවන්ට ලබාදීමට දෙමාපියන් කරන කැපකිරීම අගය කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

පුත්තලම දිස්ත්‍රික්කයේ අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීම හා ආපදාවට පත් පාසල් නිරීක්ෂණය කිරීමට සමගාමීව ජනවාරි 17 දින මදුරන්කුලිය ප්‍රදේශයේ පිහිටි පුත්තලම වේලාසිය රජයේ විද්‍යාලයේදී අගමැතිනිය මේ බව සදහන් කළාය.

වෙලාසිය විද්‍යාලයට කලක සිට අවශ්‍යව පැවති ගුරු නේවාසිකාගාර ගොඩනැඟිල්ල ස්ථාපනය කිරීම සඳහා මුල්ගල තැබීම අග්‍රාමාත්‍යවරිය අතින් මෙහිදී සිදු කෙරිණි.

සමස්ත ලංකා සම්මාන ලැබූ විද්‍යාලයේ සිසුන් අගයමින් ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානය කිරීම ද මෙහිදි සිදු විය.

අනතුරුව අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේද පැවසීය.

පාසල් වර්ගය, පාසලේ ප්‍රමාණය, පාසල අයත් වන ප්‍රදේශය අනුව අධ්‍යාපනයේ මට්ටම තීරණය වූ කාලය අවසන්, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල්වලට තාක්ෂණික උපාංග ලබා දෙමින් සිසුන් තාක්ෂණික අධ්‍යාපන රටාවකට හුරුකිරීමේදී ළමා ආරක්ෂණ ප්‍රතිපත්ති මත එය ක්‍රියාවට නංවන්න කටයුතු කරනවා. ඒ සඳහා වන ගුරු පුහුණු තුළින් ගුරුවරුන් ඒ සම්බන්ධව දැනුවත් කරන්න කටයුතු අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කරනවා.

පාසල් අතර තිබෙන තාක්ෂණික අසමානතා ඉවත් කරමින් සියලු දරුවන් අපේ දරුවන් සේ සලකා දරුවන් අතර තිබෙන අධ්‍යාපනික මෙන්ම සමාජීය පරතරයන් ද ඉවත් කිරීම සඳහා රජයක් ලෙස අපි කටයුතු කරන්න සූදානම්.

අප රටේ දෙමාපියන් අධ්‍යාපනයේ වටිනාකම දන්නවා. ඔවුන් ඔවුන්ගේ සියලු සම්පත් කැප කරන්නේ දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමට. අපි නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා පවතින අධ්‍යාපන අසමානතාව ඉවත් කිරීමට කටයුතු කරනවා. ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දෙමින් දරුවන්ට සුවදායී හෙටක් නිර්මාණය කිරීම සඳහා දෙමාපියන් ගන්නා උත්සාහයට එය උදව්වක් වෙයි කියා මම සිතනවා.

පැවති අධ්‍යාපනයට අනුව දුෂ්කර පළාත්වල පාසල් සිසුන්ගේ අධ්‍යාපනය රැකී තිබුණේ එම පාසල්වල සිටින ගුරුවරුන්ගේ දක්ෂතා මත පදනම්වයි. නමුත් මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් ඔස්සේ ගමේ සහ නගරයේ පාසල්වල පවතින වෙනස නැති කරමින් දුෂ්කර පාසල් කියා පාසල් ආමන්ත්‍රණය කිරීමේ සම්ප්‍රදාය නවත්වනවා.

රජයේ නව ජාතික ප්‍රතිපත්තියට අනුව ඉදිරියේදී ගොඩනැඟෙන රට සඳහා විවිධ ක්ෂේත්‍රයන්හි දක්ෂතා සහිත දරුවන් අවශ්‍යයි. ඊට අවශ්‍ය මානව සම්පත නිර්මාණය කිරී⁣ම වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම් සිදුකර අවසන්.

දෙමාපියන්ටත්, දරුවන්ටත් බරක් නොවන අධ්‍යාපන පද්ධතියක් අපි නිර්මාණය කරනවා.ගුණාත්මක අධ්‍යාපනයේ අවශ්‍යතාව වටහා ගනිමින් දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමට දෙමාපියන් කරන කැපකිරීම අගය කරන බව ද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

මේ අවස්ථාවට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න, පුත්තලම දිස්ත්‍රික් නියෝජිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, වයඹ පළාත් අධ්‍යාපන ලේකම්තුමා ඇතුළු අධ්‍යක්ෂකවරුන් සහ පුත්තලම වේලාසිය රජයේ විද්‍යාලයේ විදුහල්පතිතුමා සහ ගුරුවරුන් ඇතුළු දෙමාපියන් පිරිසක් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය