අනාගතයට අවශ්‍ය, සාරධර්ම පද්ධතිය රැකගනිමින් වෙනස්වීම්වලට අනුකූල වෙමින්, අත්දැකීම් අනුව නිසි පරිදි ක්‍රියාත්මක වන නායකයන්. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ (Defence Services Command and Staff College) 19 වැනි පාඨමාලාවේ උපාධි ප්‍රදානෝත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් 2024 දෙසැම්බර් 16 වන දින නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විණ.
මෙහිදී ත්‍රිවිධ හමුදාවන් සඳහා උසස්ම හමුදා අධ්‍යාපන ආයතනය වන ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ, 19 වැනි පාඨමාලාව සාර්ථකව අවසන් කළ, විදේශීය සිසුන් 26 ක් ඇතුළු පුහුණුලාභීන් 149 දෙනෙකුට උපාධි ප්‍රදානය කරන ලද අතර එය කළාපීය හා ජාත්‍යන්තර ආරක්ෂක සහයෝගිතාවයේ සහ මිත්‍රත්වයේ ශක්තිමත් බව පිළිඹිබු කිරීමක් ද විය.
අධ්‍යාපනික කාර්යසාධනයෙන් විශිෂ්ටතා දැක්වූ සිසුන්ට Golden Owl Award, Golden Pen Award සහ Commandant’s Honours යන විශේෂ සම්මාන තුන යටතේ සම්මාන ප්‍රදානය අග්‍රාමාත්‍යතුමිය විසින් සිදු කරන ලද අතර Defence and Security Journal හි 10 වැනි සංස්කරණය සහ Owlet සඟරාවද නිල වශයෙන් අග්‍රාමාත්‍යතුමියට පිළිගැන්වීය.
උත්සවය ඇමතූ අග්‍රාමාත්‍යතුමිය,
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සිදුවූ දැඩි බලපෑම් පිළිබඳව සිහිපත් කරමින්, විශේෂයෙන්ම ගලවා ගැනීම් සහ සහන කටයුතු සඳහා සහභාගී වූ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ද සිහිපත් කරමින්, ජීවිත අහිමි වූ සියලු දෙනාට සිය ගෞරවය පුද කළාය. එමෙන්ම ත්‍රිවිධ හමුදාව ජාතික අර්බුදයේ දී ජනතාව සහ සිවිල් ආයතන සමඟ එක්ව, නොසැලෙන කැපවීමෙන්, කාර්යක්ෂමව කටයුතු කිරීම වෙනුවෙන් ප්‍රශංසාව පළ කළාය.
විදේශීය පුහුණුලාභීන් සහභාගිවීම තුළින් ජාත්‍යන්තර අත්දැකීම් හුවමාරුවීම, අන්‍යෝන්‍ය අවබෝධය සහ මිත්‍රත්වය ශක්තිමත් වන බව ද අග්‍රාමාත්‍යතුමිය සදහන් කළාය.
අනාගත නායකයින් නීත්‍යානුකූල බව සහ සදාචාරය රැකගනිමින් වෙනස්වීම්වලට අනුකූලවෙමින් ඉගෙනීම් අනුව ක්‍රියා කිරීමට හැකිවීම වැදගත් වන බවද අග්‍රාමාත්‍යතුමිය වැඩිදුරටත් සඳහන් කළාය.
නව තාක්ෂණය සමග හමුදා මෙහෙයුම් අඛණ්ඩව පරිවර්තනය වුව ද, නිසි විනිශ්චය, විනය සහ වගකීම නායකත්වයේ මූලිකාංග ලෙස දිගටම පවතිනු ඇති බව ද ඇය වැඩිදුරටත් කියා සිටියාය.
මෙම විද්‍යාලයේ දී ගොඩනැගුණු වෘත්තීය සම්බන්ධතා, අනාගතයේ සාමසාධක ක්‍රියාවලීන්, මානුෂීය මෙහෙයුම්, අන්තර්ජාතික අභ්‍යාස සහ කලාපීය අර්බුදවලට ප්‍රතිචාර දැක්වීමේ ක්‍රියාකාරකම් සඳහා ද වැදගත් වන බව ඇය අවධාරණය කළාය.
මෙම උත්සවයට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා, ත්‍රිවිධ හමුදාපතිවරුන්, DSCSC හි හිටපු අණදෙන නිලධාරීන්, වර්තමාන ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයින්, අනෙකුත් ගෞරවනීය අමුත්තන් සහ උපාධිලාභීන්ගේ පවුල්වල සාමාජිකයින් ද සහභාගී විය.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය





