අග්‍රාමාත්‍ය කාර්යාලය

ශ්‍රී ලංකා ප්‍ර‍ජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයාගේ නිල රාජකාරි කටයුතු සිදුකරන අග්‍රාමාත්‍ය කාර්යාලය, රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුකූලව ආර්ථික හා සමාජීය සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනිම උදෙසා අවශ්‍ය මඟපෙන්වීම, සම්බන්ධීකරණය හා නායකත්වය ලබා දීම සිදුකරනු ලබයි.

එමෙන්ම, කාලීන අභියෝග හමුවේ නොබියව, තිර අදිටනින් යුතුව එම අභියෝග සඳහා කඩිනම් පිළියම් යෙදීමටත්, ජනතාවගේ අපේක්ෂාවන් සඵලකර දීම සඳහා දුෂ්කර කාල සීමාවන්හි, ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමින් එකී අපේක්ෂාවන් ඉටුකිරීමට අවශ්‍ය නායකත්වය ලබා දීම අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් සිදු කරනු ලබයි. තවද,රටේ සංවර්ධන කාර්ය සඵල කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය හා ජනතා කේන්ද්‍රීය ප්‍රවේශයක් තුළින් තිරසර ලෙස රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය දායකත්වය, මඟපෙන්වීම හා මනා සම්බන්ධීකරණයක් සැපයීම හා ගෝලීය අන්‍යෝන්‍ය සබඳතා පුළුල් කිරීමේ අරමුණින් රාජ්‍යතාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙන් දායකත්වය සැපයීමත්,අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් නිරන්තරවමසිදු කරනු ලබයි.

දැක්ම

“ස්වාධින ස්වෛරී හා සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක්”

මෙහෙවර

“ශ්‍රී ලාංකීය ජනතාවගේ අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම පිණිසත්, ජීවන තත්ත්වයන් නංවාලීම පිණිසත් රාජ්‍ය හා පෞද්ගලික ආයතන, විදේශ දූත මණ්ඩල, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු විදේශීය සංවර්ධන සහයෝගීතා ආයතන හා රාජ්‍ය නොවන ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් විශිෂ්ට රාජ්‍ය යාන්ත්‍රණයක් උදෙසා අවැසි නායකත්වය සැපයීම”

වෘත්තියේ අනාගතය රැදි තිබෙන්නේ තාක්ෂණික දැනුමෙන් පමණක් නොව, අවංකභාවය, හැඩගැසීමේ හැකියාව, නවෝත්පාදනය සහ රාජ්‍ය සේවය කෙරෙහි ඇති කැපවීම මතයි - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

වෘත්තියේ අනාගතය රැදි තිබෙන්නේ තාක්ෂණික දැනුමෙන් පමණක් නොව, අවංකභාවය, හැඩගැසීමේ හැකියාව, නවෝත්පාදනය සහ රාජ්‍ය සේවය කෙරෙහි ඇති කැපවීම සහිත පරම්පරාවක් මත බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

සීමාවන්ගෙන් ඔබ්බට, ක්ෂිතිජයෙන් ඔබ්බට - ලෝකයේ අනාගතය සිතියම්ගත කිරීම" යන තේමාවෙන් අගෝස්තු 02වන දින කොළඹදී පැවති ශ්‍රී ලංකා මිනින්දෝරු ආයතනයේ ශතසංවත්සර සැමරුම් උත්සවයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය.

ජීවිත කාලයටම පිදෙන සේවා සම්මානය, ජාතික දායකත්ව සහ ව්‍යවසායකත්ව සම්මානය සහ දැයෙන් සමුගත් විරුවන් උදෙසා පිදෙන උපහාර සම්මානය යන සම්මාන ප්‍රදානයද මෙහිදී සිදු කෙරිණ.

අනතුරුව සභාව ඇමතූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේද පැවසීය.

මිනින්දෝරු වෘත්තිය කියන්නේ රටක සංවර්ධනයට පදනම වන ප්‍රධානතම වෘත්තීන්ගෙන් එකකි. ඔවුන්ගේ බොහෝ කාර්යයන් මහජනතාවට සෘජුවම නොපෙනුනද, තිරසාර සංවර්ධනය, කාර්යක්ෂම ඉඩම් කළමනාකරණය, යටිතල පහසුකම් සහ සංවර්ධන ව්‍යාපෘති සාර්ථකව ක්‍රියාත්මක කිරීම ඇතුළු ජාතික වර්ධනයේ සෑම අංශයකටම බලපානවා. හොඳින් සැලසුම් කළ සෑම නගරයක්, ආරක්ෂිත වනාන්තරයක්, කෘෂිකාර්මික සංවර්ධනයක් සහ සුරක්ෂිත ඉඩම් ඔප්පුවක් පිටුපසම නිපුණ මිනින්දෝරුවන්ගේ තාක්ෂණික දැනුම තිබෙනවා.

​දිවයින පුරා ක්‍රියාත්මක වන ප්‍රධාන යටිතල පහසුකම් සහ වාරිමාර්ග ව්‍යාපෘති මගින් ජාතික සංවර්ධනය උදෙසා මිනින්දෝරු ක්ෂේත්‍රයේ ඇති අවශ්‍යතාව පැහැදිළි වෙනවා. ආරක්ෂිත ඉඩම් හිමිකම සහ කාර්යක්ෂම ඉඩම් පරිපාලනය සලසා දීම සඳහා දිවයින පුරා වසරකට ඉඩම් කැබලි 50,000 ක් පමණ මැනුම් කඩඉම් සලකුණු කරමින් රජයේ ඉඩම් හිමිකම් වැඩසටහනට සහාය වීමත් මේ වැනිම වැදගත් කාර්යයක්.

​උතුරු මැද සහ උතුරු පළාත්වල වාරිමාර්ග සංවර්ධනය සහ ජල සම්පත් කළමනාකරණය සඳහා මිනින්දෝරුවන් විසින් වැව් 100 කට වැඩි ප්‍රමාණයක මැනුම් කටයුතු සිදු කර තිබෙනවා. මොරගහකන්ද ජලාශයේ සිට අනුරාධපුර දිස්ත්‍රික්කයේ හුරුළුවැව දක්වා ජලය ගෙන යන රජරට ඇළ ව්‍යාපෘතියේ දිගු භූගත උමගක් ඇතුළත් වන අතර, කැණීම් කටයුතුවල නිවැරදිභාවය සහ තත්ව ප්‍රමිතිය තහවුරු කිරීම සඳහා මිනින්දෝරුවන් විසින් එහි පෙළගැස්ම සහ බැසීමේ කෝණයන් (gradient) අඛණ්ඩව නිරීක්ෂණය කරනවා.

​අධිවේගී මාර්ග සඳහා වන මැනුම් කටයුතු ඇතුළු ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහාද ඔවුන්ගේ දැනුම හා නිපුණතාවය අත්‍යවශ්‍ය වී ඇත. මෙම සංවර්ධන ව්‍යාපෘති මගින් පෙන්නුම් කරන්නේ මිනින්දෝරුවන්ගේ නිවැරදි මිනුම් සහ තාක්ෂණික දැනුම මගින් දැවැන්ත ජාතික ව්‍යාපෘති සුරක්ෂිතව සහ නිවැරදිව සිදු කරන බවයි.

​අද වන විට මිනින්දෝරුවරයෙකුගේ කාර්යභාරය ඉඩම් මායිම් මැනීමට පමණක් සීමා වී නැහැ. ලොව පුරා චන්ද්‍රිකා තාක්ෂණය, භූගෝලීය තොරතුරු පද්ධති (GIS), දුරස්ථ සංවේදනය (Remote Sensing), කෘතිම බුද්ධිය (AI), ඩ්‍රෝන තාක්ෂණය සහ ඩිජිටල් සිතියම්කරණයේ දියුණුව මගින් රජයන් නගර සැලසුම් කිරීම, ස්වාභාවික සම්පත් කළමනාකරණය, ආපදා ප්‍රතිචාර සහ රාජ්‍ය සේවා සැපයීමේ ආකාරය මුළුමනින්ම වෙනස් කර තිබෙනවා. විශ්වාසදායක භූ-අවකාශීය තොරතුරු වර්තමානයේ අත්‍යවශ්‍ය ජාතික සම්පතක් බවට පත්ව තියෙනවා.

​අප ආර්ථික පුනරුදයක් සහ තිරසාර සංවර්ධනයක් කරා ගමන් කරන විට, අප කාර්යක්ෂම, පාරදෘශ්‍ය සහ ඩිජිටල් ලෙස සම්බන්ධ වූ ආයතන ගොඩනැගිය යුතුයි. ​ඉඩම් පරිපාලනය ඇතුළු සියලුම ක්ෂේත්‍රවල ඩිජිටල් පාලනය ශක්තිමත් කිරීමට අපගේ රජය කැපවී සිටිනවා. දිගුකාලීන ජාතික සැලසුම්කරණයට නිවැරදි සහ පහසුවෙන් ලබාගත හැකි ඉඩම් තොරතුරු පද්ධතියක් අත්‍යවශ්‍ය යි. ඒ සඳහා රාජ්‍ය ආයතන, පෞද්ගලික අංශය සහ ශ්‍රී ලංකා මිනින්දෝරු ආයතනය වැනි වෘත්තීය ආයතන අතර සමීප සහයෝගීතාවයක් තිබීම ඉතාවැදගත්.

​ගංවතුර, නියඟ, වෙරළ ඛාදනය සහ අනෙකුත් පාරිසරික අභියෝග හරහා දේශගුණික විපර්යාස අපගේ සමාජයට වැඩි වැඩියෙන් බලපානවා. ඒනිසා භූ-අවකාශීය විද්‍යාවේ වැදගත්කම තවත් වැඩි වනවා.

​මෑතකදී ඇති වූ ’දිට්වා’ සුළි කුණාටුව (Cyclone Ditwah) සහ පසුව ඇති වූ විනාශකාරී ගංවතුර අපට මතක් කර දුන්නේ, යථා තත්ත්වයට පත්වීමේ සැබෑ මිණුම්දණ්ඩ වන්නේ නැවත ගොඩනැඟීමේ වේගය නොව, අප නැවත ගොඩනඟන දේවල ගුණාත්මකභාවය, ඔරොත්තු දීමේ හැකියාව සහ තිරසාරභාවය බවයි.

බොහෝ නිවාස, රාජ්‍ය ගොඩනැගිලි, මාර්ග සහ ප්‍රජා යටිතල පහසුකම්වලට දැඩි හානි සිදු වූ අතර, බොහෝ අවස්ථාවලදී අනිසි ලෙස ස්ථාන තේරීම, අප්‍රමාණවත් සැලසුම්කරණය, දුර්වල ඉදිකිරීම් ප්‍රමිතීන් සහ ස්වාභාවික ආපදා පිළිබඳ ප්‍රමාණවත් අවධානයක් යොමු නොකිරීම හේතුවෙන් එම විනාශයන් තවත් වැඩි වුණා.

​සාක්ෂි මත පදනම් වූ සැලසුම්කරණය සහ නිවැරදි සිතියම්ගත කිරීම අපට ඔරොත්තු දෙන යටිතල පහසුකම් ගොඩනැගීමට, අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් ආරක්ෂා කිරීමට සහ අනාගත පරම්පරාවන් වෙනුවෙන් තොරතුරු සහිත නිවැරදි තීරණ ගැනීමට ඉතාම වැදගත්.

​මම විශ්වාස කරනවා වෘත්තියේ අනාගතය රැඳී තිබෙන්නේ ශක්තිමත් තාක්ෂණික දැනුමෙන් පමණක් නොවෙයි, අවංකභාවය, නැවත හැඩගැසීමේ හැකියාව, නවෝත්පාදනය සහ රාජ්‍ය සේවය කෙරෙහි දැඩි කැපවීමකින් හෙබි පරම්පරාවක් මතයි.

​ඔවුන් ප්‍රවේශ වන්නේ භූ-අවකාශීය තාක්ෂණයන්, කෘතිම බුද්ධිය (AI), දුරස්ථ සංවේදනය, ඩ්‍රෝන, චන්ද්‍රිකා ස්ථානගත කිරීමේ පද්ධති, ඩිජිටල් ට්වින්ස් (Digital Twins) සහ දත්ත විශ්ලේෂණවල දියුණුව මගින් ශීඝ්‍රයෙන් වෙනස් වන වෘත්තියකටයි. මෙම වෙනස් වන පරිසරය තුළ කාලෝචිත ලෙස රැඳී සිටීමට නම්, තරුණ වෘත්තිකයන් ඔවුන්ගේ තාක්ෂණික හැකියාවන් අඛණ්ඩව යාවත්කාලීන කරගත යුතුයි වගේම ඉංජිනේරුවන්, සැලසුම්කරුවන්, පාරිසරික විද්‍යාඥයින්, ගෘහ නිර්මාණ ශිල්පීන් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් සමඟ එක්ව කටයුතු කිරීමේ හැකියාව වර්ධනය කරගත යුතු බව අග්‍රාමාත්‍යතුමිය පැවසුවා ය.

ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් විතාරණ, පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ඒ. රුවන්තිලක, දෙහිවල ගල්කිස්ස මහා නගර සභාවේ නගරාධිපති, හිටපු අතිරේක මැනුම්පති පරාක්‍රම ශාන්ත, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී. පී. වික්‍රමසිංහ, අතිරේක මැනුම්පති භාග්‍යා ප්‍රනාන්දු, හිටපු මැනුම්පති ශ්‍යාමාලී පෙරේරා යන මහත්ම මහත්මීන් ඇතුළු ශ්‍රී ලංකා මිනින්දෝරු ආයතනයේ සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

අධ්‍යාපනය සෑම දරුවෙකුට හිමිවිය යුතු මූළික අයිතිවාසිකමක් මිසක්, වරප්‍රසාදයක් නොවෙයි. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

නැණ ඉසුර ශිෂ්‍යත්වය, රජයක් විදිහට අපි ගෙනියන වැඩපිළිවෙළට ලැබෙන ලොකු ශක්තියක්.

අධ්‍යාපනය සෑම දරුවෙකුට හිමිවිය යුතු මූළික අයිතිවාසිකමක් මිසක්, වරප්‍රසාදයක් නොවන බවත්, දරුවන්ට අධ්‍යාපනය අතහැර යාමට සිද්ධවන පසුබිම සම්පූර්ණයෙන්ම නැති කිරීමට රජය ගන්නා උත්සාහයට නැණ ඉසුර ශිෂ්‍යත්වය ශක්තියක් වන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

අති පූජ්‍ය ගල්බොඩ සිරි ඥානිස්සර හිමි අනුස්මරණ “නැණ ඉසුර - 2026” ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයට සහභාගී වෙමින් අගෝස්තු 02 දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය.

කොළඹ හුනුපි⁣ටිය ගංගාරාම විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියන්ගේ අනුශාසනාව පරිදි අති පූජ්‍ය ගල්බොඩ සිරි ඥානිස්සර හිමි අනුස්මරණ ශිෂ්‍යත්ව අරමුදල මගින් සංවිධානය කළ මෙම උත්සවයේදී පහ වසර ශිෂ්‍යත්වය සමත් සිසු දරු දැරියන් 460 දෙනෙකු වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය සිදු කළ අතර උසස් පෙළ අධ්‍යාපනය අවසන් වනතෙක් මෙම ශිෂ්‍යත්ව අරමුදල දරුවන් වෙත ලබා දීමට නියමිතයි.

සිසු දරුදැරියන් වෙත ශිෂ්‍යත්ව ප්‍රදානයෙන් අනතුරුව අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

අපවත්වී වදාළ පොඩි හාමුදුරුවෝ කියන්නේ, පන්සල කියන සීමාවෙන් ඔබ්බට ගිහින් සමාජ මෙහෙවර තමන්ගේ ප්‍රධාන වගකීම කරගත් ශ්‍රේෂ්ඨ ස්වාමීන් වහන්සේ නමක්.

උන්වහන්සේ භික්ෂූන් වහන්සේනමක් විදිහට ආගමික සහ ශාසනික මෙහෙවර ඉටු කළා වගේම, රටේ අසරණ වුණු, ආර්ථික අපහසුතා තියෙන ජනතාවට සහ දරුවන්ට ලොකු සෙවනැල්ලක් වුණා.

විශේෂයෙන්ම, වෘත්තීය අධ්‍යාපනය, තරුණ සංවර්ධනය සහ ළමා සුබසාධනය උදෙසා උන්වහන්සේ ගංගාරාම විහාරස්ථානය මුල් කරගනිමින් කරපු මෙහෙවර අපට කිසිදාක අමතක කරන්න බෑ. අද මේ ක්‍රියාත්මක වෙන "නැණ ඉසුර" ශිෂ්‍යත්ව අරමුදල කියන්නේ උන්වහන්සේගේ ඒ මානුෂීය සහ අනාගතවාදී දර්ශනයේ සජීවී ප්‍රතිඵලයක්.

ආර්ථික දුෂ්කරතා තිබුණත් නොසැලී උසස් පෙළ දක්වා ඉදිරියට යන මේ දරුවන්ගේ අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න මේ ප්‍රදානයෙන් ලැබෙන්නේ ලොකු පිටුවහලක්.

ඔබ දන්නවා මේ වනකොට රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනසක්, නව පුනරුදයක් ඇති කරන්න රජය කැපවෙලා ඉන්නවා. රජයක් විදිහට අපේ පැහැදිලි දැක්ම තමයි, අධ්‍යාපනය කියන්නේ ඕනෑම දරුවෙකුට හිමිවිය යුතු මූලික අයිතිවාසිකමක් මිසක්, වරප්‍රසාදයක් නොවිය යුතුයි කියන එක.

රටේ ආර්ථික දුෂ්කරතා මොනවා තිබුණත්, දරුවෙකුගේ අධ්‍යාපනය වෙනුවෙන් කරන ආයෝජනය කියන්නේ මේ රටේ අනාගතය වෙනුවෙන් කරන හොඳම සහ විශිෂ්ටතම ආයෝජනයයි. අපිට තිබෙන ප්‍රබල ම සම්පත මානව සම්පතයි. රජය විදිහට අපි අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් වැදගත් පියවර කිහිපයක්ම ගනිමින් ඉන්නවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ නිදහස් අධ්‍යාපනය සුරැකීම වෙනුවෙන් විෂය මාලාවන් යාවත්කාලීන කරමින්, දැනට තියෙන විභාග කේන්ද්‍රීය අධ්‍යාපන රටාව වෙනුවට දරුවාගේ කුසලතා, නිරීක්ෂණ ශක්තිය සහ සිතීමේ හැකියාව වර්ධනය වෙන ප්‍රායෝගික අධ්‍යාපනික පරිසරයක් නිර්මාණය කිරීම අපේ ප්‍රධාන අරමුණක්.

ඒ වගේම, පොතට සීමා නොකර රටට අවශ්‍ය ආකල්ප සහ භාවිතාවන් සහිත අධ්‍යාපන ක්‍රමයක් ඇති කරන්නයි අපිට අවශ්‍ය වන්නේ. ග්‍රාමීය සහ නාගරික පාසල් අතර තියෙන පරතරය අඩු කරන්න ග්‍රාමීය පාසල්වල යටිතල පහසුකම්, ගුරු හිඟය සහ තාක්ෂණික පහසුකම් වර්ධනය කරන්න අපි වැඩි මුදලක් වෙන් කරලා තියෙනවා. මොකද රටේ කොතැනක ඉපදුණත් සෑම දරුවෙකුටම එක හා සමාන ගුණාත්මක අධ්‍යාපනයක් ලැබෙන්න ඕනේ.

ඒ වගේම, කාලයක් තිස්සේ නිසි වැඩසටහනක් නැතිව ක්‍රියාත්මක වූ අධ්‍යාපන ක්‍රමවේදය නිසා විභාග තියන්න, පථිපල ලබා දෙන තත්වයට පත් වුණා. අද නිසි පරිදි කාල සටහනකට අනුව විධිමත්ව අධ්‍යාපන ක්ෂේත්‍රය පවත්වා ගන්න අවශ්‍ය කටයුතු අපි සිදු කරමින් යනවා ඒ වෙනුවෙන් අපිට ඔබේ සහය අවශ්‍යයි.

අපි අපේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හරහා පාසල් අධ්‍යාපනයෙන් පස්සේ දරුවෙක් අතරමං නොවී, වෘත්තීය හෝ උසස් අධ්‍යාපනයට යොමුවෙන්න අවශ්‍ය සියලු මාර්ග සහ අවස්ථා අපි පුළුල් කරමින් ඉන්නවා. අධ්‍යාපන ක්ෂේත්‍රයේ මානව සම්පත වෙනුවෙන් ආයෝජනය කරමින් පාසල් දිවා ආහාර වේල, පෙළපොත්, පාසල් උපකරණ සහ ශිෂ්‍යත්ව වැඩසටහන් හරහා අසරණ පවුල්වල දරුවන්ට අධ්‍යාපනය අතහැරලා යන්න සිද්ධ වෙන පසුබිම සම්පූර්ණයෙන්ම නැති කරන්න රජය නිරන්තරයෙන් කැපවෙලා ඉන්නවා.

නැණ ඉසුර වැඩසටහන මම දකින්නේ රජයේ වැඩපිලිවෙලට ලැබෙන තවත් වටිනා සහයෝගයක් ලෙසයි.

ගංගාරාම විහාරස්ථානය සහ “නැණ ඉසුර” අරමුදල එකතු වෙලා සිදුකරන මේ සමාජ සේවය, රජයක් විදිහට අපි ගෙනියන වැඩපිළිවෙළට ලැබෙන ලොකු ශක්තියක්.

අපවත්වී වදාළ පොඩි හාමුදුරුවන්ගේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යමින් ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි නායක හිමිපාණන් වහන්සේ කරන ආගමික හා සාමාජයීය මෙහෙවර වෙනුවෙන් රජය විදිහට අපේ ගෞරවය පිරිනැමීමටත් මේක අවස්ථාවක් කර ගන්නවා.

මේ සඳහා අවවාද අනුශාසනා ලබා දෙන අපේ කිරින්දේ අස්සජි ස්වාමීන්වහන්සේටත්, ශිෂ්‍යත්ව අරමුදලේ භාරකාර මණ්ඩලයටත්, මේකට ආධාර උපකාර කරන සියලු දෙනාටත් මගේ ගෞරවය සහ ස්තූතිය පිරිනමනවා.

දරුවන් ලබන මේ ශිෂ්‍යත්වය, මුදලක් හෝ ද්‍රව්‍යමය උපකරණ ටිකක් හරි විතරක් නෙවෙයි. ඒක මුළු රටක්ම ඔබේ අනාගතය කෙරෙහි තබන ලොකු විශ්වාසයක්. ඒ නිසා කොච්චර අභියෝග ආවත් ඔබේ උත්සාහය සහ කැපවීම අතහරින්න එපා. අධ්‍යාපනයෙන් සන්නද්ධව , මේ රට යහපත් මඟකට ගෙනියන, කරුණාවන්ත, ගුණගරුක පුරවැසියන් බවට පත්වෙන්න අධිෂ්ඨාන කරගන්නා ලෙසද අග්‍රාමාත්‍යතුමිය මෙහිදී පැවසූවාය.

මෙම අවස්ථාවට සියම් මහා නිකායේ මහා නායක හිමියන් ප්‍රධාන මල්වතු අස්ගිරි අනුනායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා යන මහත්වරුන්, ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්, තානාපතිවරුන්, දායක දායිකාවන්, ශිෂ්‍යත්වලාභී දරුදැරියන් සහ දෙමාව්පියන් විශාල පිරිසක් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ අග්‍රාමාත්‍යතුමිය හමුවෙයි

​ශ්‍රී ලංකා යුද හමුදාවේ 25 වැනි හමුදාපතිවරයා ලෙස සිය ධුර කාලය නිම කළ යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතා, ජුලි 31 දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවුවා ය.

මෙම හමුවේදී ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතා විසින් ඉටුකරන ලද විශිෂ්ට හමුදා සේවය, ආදර්ශමත් නායකත්වය මෙන්ම මාතෘ භූමිය උදෙසා දක්වන ලද කැපවීම අග්‍රාමාත්‍යතුමිය ඇගයීමට ලක් කළාය.

​සිය ධුර කාලය පුරාවට ශ්‍රී ලංකා යුද හමුදාවේ මෙහෙයුම් හැකියාවන් සහ වෘත්තීයමය ප්‍රමිතීන් උසස් මට්ටමකට ගෙන ඒම වෙනුවෙන් තමන් දැක්වූ සක්‍රිය දායකත්වය හිටපු යුද හමුදාපතිතුමන් මෙහිදී යළි සිහිපත් කළේය.

අනතුරුව සේවයෙන් නික්ම ගිය යුද හමුදාපතිතුමන්ගේ ඉදිරි කටයුතු වෙනුවෙන් අග්‍රාමාත්‍යතුමිය සිය සුබපැතුම් එක් කළාය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

2030 වන විට සංචාරක ක්ෂේත්‍රයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 10ක ආදායමක් ලබා ගැනීම රජයේ අරමුණයි - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

2030 වසර වන විට මෙරටට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව මිලියන පහ දක්වා ඉහළ නැංවීමත්, සංචාරක ක්ෂේත්‍රයේ රැකියා නියුක්තිකයන් සංඛ්‍යාව 800,000 දක්වා වර්ධනය කිරීමත් සහ ඩොලර් බිලියන 10ක ආදායමක් උපයා ගැනීම රජයේ ’2030 ජාතික සංචාරක දැක්ම’ හි ප්‍රධාන අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.

අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ ජූලි 31 වන දින බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ (BMICH) පැවැති ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ (SLITHM) 45 වන උපාධි ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.

1964 වසරේදී ’ලංකා හෝටල් පාසල’ ලෙස ආරම්භ කෙරුණු ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය, වසර 60කට වැඩි කාලයක් පුරා දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ඇගයීමට ලක්වූ වෘත්තිකයන් ක්ෂේත්‍රයට දායාද කිරීමට සක්‍රියව දායක වී තිබේ. මෙම උත්සවයේදී පාඨමාලා සාර්ථකව නිමකළ සිසුන් වෙත සහතිකපත්‍ර හා සම්මාන පිරිනැමීම ද අග්‍රාමාත්‍යතුමිය අතින් සිදු විය.

අනතුරුව පැමිණ සිටි පිරිස ඇමතූ අග්‍රාමාත්‍යතුමිය, ’දිට්වා’ සුළිකුණාටුව ඇතුළු විවිධ අභියෝග හමුවේ වුවද ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය ප්‍රශංසනීය ලෙස නැගී සිටි බවත්. මෙ වන විට සංචාරක ක්ෂේත්‍රය ආර්ථිකය නැවත ගොඩනැගීමේ ප්‍රධාන බලවේගයක් බවට පත්ව ඇති අතර, 2025 වසරේදී සංචාරක ක්ෂේත්‍රයෙන් උපයාගත් ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 3.2ක් පමණ වන බවත් පැවසුවාය.

එමෙන්ම 2026 ජනවාරි සිට ජූලි දක්වා කාලය තුළ සංචාරකයින් මිලියන 1.3 කට අධික සංඛ්‍යාවක් මෙරටට පැමිණ ඇති අතර, ක්ෂේත්‍රයේ සෘජු හා වක්‍ර රැකියා නියුක්තිය ද 429,000 ඉක්මවා තිබෙන බවද පැවසීය.

අනාගත ඉලක්ක සපුරා ගැනීමට තාක්ෂණික දැනුම මෙන්ම පාරිසරික වගකීම, වෘත්තීය ගෞරවය, වෙනස්වීම්වලට හැඩගැසීමේ හැකියාව සහ ගුණාත්මක සේවාවක් සැපයීමට කැපවූ වෘත්තිකයන් ක්ෂේත්‍රයට අවශ්‍ය වන බව අග්‍රාමාත්‍යතුමිය මෙහිදී අවධාරණය කළාය. ආබාධිත පුද්ගලයන්ට ද සංචාරක ක්ෂේත්‍රයේ අවස්ථා නිර්මාණය කරදීමට SLITHM ආයතනය ගෙන ඇති පියවර පැසසුමට ලක් කළ අග්‍රාමාත්‍යතුමිය සුරක්ෂිත සේවා පරිසරයක් තුළ කාන්තා සහභාගීත්වය ඉහළ නැංවීමේ වැදගත්කම ද පෙන්වා දුන්නාය.

මෙම අවස්ථාවට සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ, සංචාරක අමාත්‍යාංශයේ ලේකම් ධීර හෙට්ටිආරච්චි, SLITHM සභාපති වසන්ත මන්ත්‍රීපාල යන මහත්වරුන් ඇතුළු ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්, රාජ්‍ය තාන්ත්‍රිකයන්, ආචාර්ය මණ්ඩලය සහ උපාධිධාරීන්ගේ පවුල්වල සාමාජිකයෝ රැසක් එක්ව සිටියහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම් සහ UNDP ආසියා පැසිෆික් කලාපීය අධ්‍යක්ෂතුමිය, අග්‍රාමාත්‍යතුමිය හමුවෙයි

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර මහලේකම් සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) ආසියා පැසිෆික් කලාපය සඳහා වන අධ්‍යක්ෂ කන්නි විග්නරාජා මහත්මිය ජූලි 31 වන දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිත පිරිස පිළිගත් අග්‍රාමාත්‍යතුමිය, ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ක්‍රියාමාර්ග වෙනුවෙන් UNDP සංවිධානය ලබාදෙන අඛණ්ඩ සහයෝගය සහ හවුල්කාරිත්වය ඇගයීමට ලක් කළාය.

පසුගිය රජයන් විසින් ආරම්භ කරන ලද වැඩසටහන් අවසන් කිරීමට මෙන්ම වර්තමාන රජයේ ප්‍රතිපත්තිමය ප්‍රමුඛතාවන් ඉදිරියට ගෙනයාමට ගෙන ඇති පියවර පිළිබඳව අග්‍රාමාත්‍යතුමිය මෙහිදී නියෝජිත පිරිස දැනුවත් කළාය.

රාජ්‍ය අංශයේ සමාලෝචන ක්‍රියාවලිය, විනිවිදභාවයෙන් සහ දක්ෂතාව පදනම් කරගත් ක්‍රමවේදයන් ඔස්සේ බඳවා ගැනීම් සහ රාජ්‍ය අංශය තුළ මානව සම්පත් කළමනාකරණය ඉහළ නැංවීමට ගෙන ඇති වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු විය.

එමෙන්ම ඩිජිටල් රාජ්‍ය යටිතල පහසුකම්, ඩිජිටල් පාලනය සහ රාජ්‍ය සේවා සැපයීම කාර්යක්ෂම කිරීම සඳහා තාක්ෂණය භාවිත කිරීම ඇතුළු රජය ගෙන ඇති ඩිජිටල්කරණ ක්‍රියාවලිය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණය සහ ඩිජිටල් පාලන පියවර සඳහා මෙන්ම රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සහ ආර්ථික ස්ථාවරභාවය ගොඩනැගීමේ කාර්යය සඳහා අඛණ්ඩව සහය දෙන බවට විග්නරාජා මහත්මිය මෙහිදී අවධාරණය කළා ය.

සංයුක්ත අපද්‍රව්‍ය කළමනාකරණය ශක්තිමත් කිරීම, තිරසාර පාරිසරික සම්පත් කළමනාකරණය, පුනර්ජනනීය බලශක්ති උත්පාදනය ව්‍යාප්ත කිරීම සහ තිරසාර සංවර්ධනය කරා යන ගමන වේගවත් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති බව අග්‍රාමාත්‍යතුමිය මෙහිදී පෙන්වා දුන්නාය.

කාලගුණික විපර්යාසයන්ට ඔරොත්තු දීම සහ අඩු කාබන් විමෝචනයක් උදෙසා අරමුදල් රැස්කිරීම සඳහා වූ පුළුල් දේශගුණික මුල්‍ය උපායමාර්ගයක් සකස් කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවද අග්‍රාමාත්‍යතුමිය පැහැදිලි කළාය.

අනාගත ලෝකයේ බිහිවෙමින් තිබෙන රැකියා වෙළඳපොළ අවශ්‍යතා හඳුනා ගැනීමටත්, අනාගත ආර්ථික ඉල්ලුමට සරිලන පරිදි කුසලතා සංවර්ධනයට සහය වීමටත් UNDP සංවිධානය මගින් දැනට සිදුකරනු ලබන ’Future Skills Study’ පිළිබඳ යාවත්කාලීන තොරතුරු ද මෙහිදී ඉදිරිපත් කෙරිණි.

තවද, ශ්‍රී ලංකාවේ ’සුරක්ෂා ආර්ථිකය’ (care economy) වැඩිදියුණු කිරීම, කාන්තා ශ්‍රමදායකත්වය ඉහළ නැංවීම සහ වඩාත් අන්තර්ග්‍රහණය වූ ආර්ථික වර්ධනයක් ප්‍රවර්ධනය කිරීම පිළිබඳවද දෙපාර්ශවය අතර අදහස් හුවමාරු විය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ UNDP නේවාසික නියෝජිත Azusa Kubota මහත්මිය, නියෝජ්‍ය නේවාසික නියෝජිත Marina Ten මහත්මිය, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත මහත්මිය සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

රත්මලාන කඳවල මාර්ගය සහ කානු පද්ධතියේ ප්‍රතිසංස්කරණ කඩිනමින් ඇරඹීමට අග්‍රාමාත්‍යතුමියගෙන් උපදෙස්

ආර්ථික වශයෙන් වැදගත් කර්මාන්තශාලා, උසස් අධ්‍යාපන ආයතන ඇතුළු ස්ථාන රාශියකට ප්‍රවේශ පහසුකම් සපයන රත්මලාන කඳවල මාර්ගය සහ දෙපස කානු පද්ධතියේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දුන්නාය.

අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් අද (31) දින බස්නාහිර පළාත් සභා කාර්යාලයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යතුමිය මේ බව පැවසුවාය.

මාර්ගය දෙපස පිහිටි කානු පද්ධතියේ පවතින අවහිරතා හේතුවෙන් වර්ෂා කාලයේදී මාර්ගය සහ දෙපස ගොඩනැගිලි නිරන්තරයෙන් ජලයෙන් යටවන අතර එමගින් ප්‍රදේශවාසීන්, ආයතන වෙත පැමිණෙන සේවාලාභීන් සහ සේවකයන් ඇතුළු විශාල පිරිසක් දැඩි අපහසුතාවට පත්වෙන බවත්, මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම තුළින් විශාල ආර්ථික හා සමාජීය ප්‍රතිලාභ රැසක් අත්වන නමුත්, වසර ගණනාවකින් නිසි නඩත්තුවක් සිදු නොවීම නිසා ජල ගැලීම්වලට හේතුවන අනවසර ඉදිකිරීම් පවා සිදුව ඇති බවත් මෙහිදී අනාවරණය විය.

රත්මලාන කඳවල මාර්ගයේ ජල බැසයාම නිසි පරිදි සිදු නොවීමට බලපා ඇති ප්‍රධාන හේතු කිහිපයක් සාකච්ඡාවේදී හඳුනා ගැනුණ අතර වැසි ජලය බැසයාමට බාධා වන ලෙස සිදුකර ඇති අනවසර ඉදිකිරීම්, කානු පද්ධතිය නිසියාකාරව සුද්ධ පවිත්‍ර කර නඩත්තු නොකිරීම සහ පවතින බෝක්කු හා පාලම් වර්තමාන අවශ්‍යතාවලට සරිලන පරිදි විශාල නොවීම ඒ අතර ප්‍රධාන වේ.

එමෙන්ම ජලය ගලාබසින වේරැස්ස ගඟෙහි සහ කානු පද්ධතියේ පිහිටීම අතර උසෙහි පරතරය අවම වීම මෙන්ම ප්‍රදේශයේ භූගත ජල මට්ටම පොළොව මතුපිට ස්තරයට ඉතා ආසන්නයෙන් පිහිටීම ද මෙම ජල ගැලීම් තත්ත්වයට හේතු වී ඇති බව මෙහිදී අනාවරණය විය.

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමිය සඳහන් කළේ, අදාළ ඉඩම්වල අයිතිය පිළිබඳ පවතින ගැටලු සහ කානු පද්ධතියේ හා ඇළ මාර්ගවල නඩත්තු කටයුතු අයත් ආයතන නිවැරදිව හඳුනා නොගැනීම මෙම අර්බුදය විසඳීමට ප්‍රබල බාධාවක් වී ඇති බවයි. එබැවින් පටු ආයතනික හා රාජකාරී සීමාවල නොසිට සියලුම රාජ්‍ය ආයතන ඒකාබද්ධව එක්ව කටයුතු කිරීමේ වැදගත්කම අග්‍රාමාත්‍යතුමිය අවධාරණය කළාය.

ජනතාවට, විදේශ විනිමය උපයන කර්මාන්තශාලාවලට මෙන්ම උසස් අධ්‍යාපන ආයතනවලට සේවයක් සැලසෙන පරිදි සකස් කෙරෙන අවසාන සැලසුමට ප්‍රදේශයේ ගංවතුර පාලනය කිරීමද අනිවාර්යයෙන්ම ඇතුළත් විය යුතු බව අග්‍රාමාත්‍යතුමිය වැඩිදුරටත් පැවසුවාය.

ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් මේ වන විටත් මෙයට අදාළ සැලසුමක් සකස් කර ඇති අතර, පාර්ශ්වකාර ආයතන එක්ව ගැටලු නිරාකරණය කරගැනීමෙන් පසු බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සංවර්ධන කටයුතු සිදු කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.

මෙම සාකච්ඡාව සඳහා කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් නිපුණආරච්චි, රත්මලාන සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිනි පාර්ලිමේන්තු මන්ත්‍රීනි සමන්මලී ගුණසිංහ, කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ මාර්ග අනුකමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර, බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්, දෙහිවල-ගල්කිස්ස නගරාධිපති ඇතුළු ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සහ පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් එක්ව සිටියහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය