අග්‍රාමාත්‍ය කාර්යාලය

ශ්‍රී ලංකා ප්‍ර‍ජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයාගේ නිල රාජකාරි කටයුතු සිදුකරන අග්‍රාමාත්‍ය කාර්යාලය, රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුකූලව ආර්ථික හා සමාජීය සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනිම උදෙසා අවශ්‍ය මඟපෙන්වීම, සම්බන්ධීකරණය හා නායකත්වය ලබා දීම සිදුකරනු ලබයි.

එමෙන්ම, කාලීන අභියෝග හමුවේ නොබියව, තිර අදිටනින් යුතුව එම අභියෝග සඳහා කඩිනම් පිළියම් යෙදීමටත්, ජනතාවගේ අපේක්ෂාවන් සඵලකර දීම සඳහා දුෂ්කර කාල සීමාවන්හි, ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමින් එකී අපේක්ෂාවන් ඉටුකිරීමට අවශ්‍ය නායකත්වය ලබා දීම අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් සිදු කරනු ලබයි. තවද,රටේ සංවර්ධන කාර්ය සඵල කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය හා ජනතා කේන්ද්‍රීය ප්‍රවේශයක් තුළින් තිරසර ලෙස රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය දායකත්වය, මඟපෙන්වීම හා මනා සම්බන්ධීකරණයක් සැපයීම හා ගෝලීය අන්‍යෝන්‍ය සබඳතා පුළුල් කිරීමේ අරමුණින් රාජ්‍යතාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙන් දායකත්වය සැපයීමත්,අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් නිරන්තරවමසිදු කරනු ලබයි.

දැක්ම

“ස්වාධින ස්වෛරී හා සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක්”

මෙහෙවර

“ශ්‍රී ලාංකේය ජනතාවගේ අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම පිණිසත්, ඔවුන්ගේ ජීවන තත්ත්වය නංවාලීම පිණිසත්, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් යහපාලනයෙන් යුත් විශිෂ්ට රාජ්‍ය යාන්ත්‍ර‍ණයක් උදෙසා අවැසි නායකත්වය සැපයීම”

“දිට්වා” සුළිකුණාටුවෙන් හා ගංවතුරෙන් ආපදාවට පත් ලක්වැසියන්ට සෙත් පතා දිවයින පුරා සර්ව ආගමික වතාවත් සිදු කරයි.

“දිට්වා” සුළිකුණාටුවෙන් හා ගංවතුරෙන් ආපදාවට ලක් වු ලක්වැසියන්ට සෙත් පැතීම හා ජීවිත අහිමි වු සියලු දෙනා වෙත පිං පැමිණවීම වෙනුවෙන් බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ මෙහෙය වීම මත දෙසැම්බර් 09 දින දිවයින පුරා සර්ව ආගමික සිද්ධස්ථානවල අගමික වතාවත් සිදු කෙරිණ.

ඒ අනුව හුණුපිටිය ගංගාරාමාධිපති, ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ සීමා මාලකයේදී සර්ව රාත්‍රික පිරිත් දේශනාවක් ද පැවැති අතර අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනවි විසින් සර්වඥ ධාතූන් වහන්සේ උදෙසා ගිලන්පස සහ මල්වට්ටිය පූජා කිරීමෙන් අනතුරුව මහා සංඝරත්නය පිරිත් සජ්ඣායනය ආරම්භ කළහ.

හදිසි ආපදා තත්ත්වයෙන් දිවයින පුරා හානියට පත් ආගමික සිද්ධස්ථාන නගාසිටූවීම වෙනුවෙන් රුපියල් මිලියන 128ක මුදලක් දායකයින් විසින් රජයට පරිත්‍යාග කිරීම ද මෙහිදී සිදු විය.

මල්වතු මහා විහාර පාර්ශවයේ අනුනායක ගෞරව ශාස්ත්‍රවේදී, අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී යන මහත්වරුන් සහ රාජ්‍ය නිලධාරීන්, දායක දායිකාවන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

කොළඹ දිස්ත්‍රික්කයේ අනවසර ඉදිකිරීම්වලට කිසිසේත්ම ඉඩ දෙන්නේ නැහැ. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

ගංවතුර කොළඹ දිස්ත්‍රික් ජනතාවගේ ජනජීවිතයේ කොටසක් වෙන්න ඉඩ දෙන්න බැහැ

කොළඹ දිස්ත්‍රික්කය තුළ අනවසර ඉදිකිරීම් සඳහා අනුමැතිය දීම හෝ සංවර්ධනය කටයුතු මුවාවෙන් ජනතාව අවදානමේ හෙලන ජනාවාස ඉදිකිරීමට කිසිසේත් ඉඩ ලබා නොදෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා ය.

දෙසැම්බර් 09 වැනි දා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ පැවති කොළඹ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු රැස්විම අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේද කීවාය.

කොළඹ දිස්ත්‍රික්කය ගංවතුර තත්ත්වය නිසා මෙතරම් අවදානමට ලක් වී ඇත්තේ කිසිදු සැලසුමක් හෝ නීතිරීති පිළිබඳ අවබෝධයක් නොමැතිව සිදුකරන ලද ඉදිකිරීම් හේතුවෙන්,

අතිශය පෞද්ගලික දේශපාලන න්‍යායපත්‍ර අනුව ගත් තීන්දු තීරණ නිසා දිස්ත්‍රික්කය සහ ජනතාව මෙම අවදානමට ලක් වී තිබෙනවා.

පසුගිය දිනවල ඇති වූ කුණාටු තත්ත්වයෙන් විශාල වශයෙන් ජීවිත හා දේපළ හානි සිදු වූ දිස්ත්‍රික්කවලට සාපේක්ෂව කොළඹ දිස්ත්‍රික්කයට ඇති වූ හානිය අඩුයි, නමුත් දිස්තික්කය තුළ ඉදිරියේ දී ඇතිවිය හැකි ගංවතුර තත්ත්වය පාලනය කිරීමට, අදාළ ආයතන සමඟ එක්ව විශේෂ මැදිහත්වීමක් සිදුකරනවා

අද පැවති දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටුව තුළත් ඒ සම්බන්ධයෙන් විශේෂයෙන් සාකච්ඡා වූණා. වාර්ෂිකව ඇතිවන ගංවතුර කොළඹ ජනතාවගේ ජන ජීවිතයේ කොටසක් බවට පත්වීමට කිසිසේත්ම ඉඩ දෙන්න බැහැ. සියලු ආයතන හා එක් වී දිස්ත්‍රික්කයේ ගංවතුර පාලනයට පොදු සැලැස්මක් ඉදිරිපත් කර ඒ අනුව ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය කටයුතු සූදානම් කරනවා.

කොළඹ දිස්ත්‍රික්කය තුළ අවධානම් සහිත ප්‍රදේශවල ජීවත්වන ජනතාවට යම් විසඳුමක් ලබා දීම පිළිබඳව අපි මේ වනවිටත් සාකච්ඡා කරමින් යනවා යැයි, මාධ්‍ය වෙත වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

මෙම අවස්ථාව සඳහා නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞශල්‍යා ආරියරත්න , කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අරුණ පනාගොඩ, චන්දන සූරියආරච්චි යන මහත්ම මහත්මීන් සහභාගී විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ඵලදායී තීරණ ගැනීම සඳහා කාලෝචිත හා නිවැරදි දත්ත අවශ්‍යයි - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

ගංවතුරට ගොදුරු විය හැකි ප්‍රදේශ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, ආපදා තත්ත්වයන්ගෙන් පසු රට යථා තත්ත්වයට පත් කිරීම සහ නිවැදි දත්ත ලබා ගැනීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP), ලෝක බැංකුව සහ එක්සත් ජාතීන්ගේ ව්‍යාපෘති සේවා කාර්යාලයේ (UNOPS) නියෝජිතයින් සමග සාකච්ඡාවක් දෙසැම්බර් 8 වනදා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.

ආපදා තත්ත්වයන්ගෙන් පසු ඵලදායී ලෙස ඉදිරි තීරණ ගැනීමේදී කාලෝචිත මෙන්ම නිරවද්‍ය තොරතුරු සහ දත්ත රැස් කිරීමේ වැදගත්කම පිළිබඳව අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළ අතර කෙටි කාලීන හා දිගු කාලීන පියවර මඟින් රට යළි යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කිරීමේ දී නිවැරදි දත්ත අත්‍යවශ්‍ය වන බව අග්‍රාමාත්‍යවරිය තවදුරටත් සඳහන් කළා ය.

මෙහිදී UNDP නියෝජිතයින් විසින් GIS තාක්ෂණය, චන්ද්‍රිකා ඡායාරූප සහ භූ දත්ත යොදා ගනිමින් පශ්චාත් ආපදා තත්වය තක්සේරුව සඳහා වන කෘතිම බුද්ධිමය වැඩසටහනක් වන RAPIDA සහ GRADE භාවිත කරමින් අවශ්‍යතා තක්සේරු කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ තොරතුරු අග්‍රාමාත්‍යවරියට ඉදිරිපත් කළ අතර ඒ හරහා ආපදා තත්ත්වයන්ගේ බලපෑමට ලක් වූ ස්ථාන, ප්‍රජාවන්, සහ යටිතල පහසුකම්වලට සිදු වූ හානි ඇස්තමේන්තු කරමින් අවශ්‍ය තීරණ ගැනීම සඳහා උපකාරී වන බව තවදුරටත් පැහැදිලි කළහ.

රජයට සිය සහාය ලබා දීමට සූදානම් බවත් ආපදා තත්වයන්ගෙන් පසු ඊට ප්‍රතිචාර දැක්වීම සහ හානි වූ යටිතල පහසුකම් නැවත ගොඩනැඟීම කාර්යක්ෂමව සිදු කිරීමට රජය සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවත් UNDP නියෝජිතයින් තවදුරටත් ප්‍රකාශ කළහ.

මෙම අවස්ථාවට ලෝක බැංකුවේ දේශීය කළමනාකරු ආචාර්ය Gevorg Sargsyan, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) නේවාසික නියෝජිතවරිය,Azusa Kubota, එක්සත් ජාතීන්ගේ ව්‍යාපෘති සේවා කාර්යාලයේ (UNOPS) දකුණු ආසියානු අධ්‍යක්ෂතුමන්, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි , අතිරේක ලේකම් (සංවර්ධන) සාගරිකා බෝගහවත්ත යන මහත්ම මහත්මීන් සහ ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහභාගී විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

හදිසි ආපදා තත්ත්වයෙන් පසු රට යථාතත්ත්වයට පත් කිරීම සඳහා බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමෙන් රජයට මිලියන 250ක මුල්‍ය පරිත්‍යාගයක්

දිට්වා සුළිකුණාටුව හේතුවෙන් ඇති වූ හදිසි ආපදා තත්ත්වයෙන් පසු රට යථාතත්ත්වයට පත් කිරීම සඳහා බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනම රජය වෙත මිලියන 250 මුල්‍ය පරිත්‍යාගයක් සිදු කළේය.

ඒ අනුව බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමේ සභාපති හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඊට අදාළ චෙක්පත දෙසැම්බර් 08 දින අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත පිළිගැන්වීම අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු ක⁣ළහ.

අනතුරුව පදනමෙි සභපති හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර සුහද සාකච්ඡාවක්ද පැවැත්විණි.

අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, යන මහත්වරුන් සහ බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ නියෝජිතයින් මෙම අවස්ථාවට සහභාගී විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

පේරාදෙණිය විශ්වවද්‍යාලය නැවත ගොඩනැගීමට රජයේ සහාය - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

පෙරටත් වඩා ශක්තිමත්ව මෙන්ම ආරක්ෂිත ලෙස නැවත ගොඩනැගීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයට සහාය ලබා දීමට රජය සූදානම් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය. නොවැම්බර් 27 වන දින පේරාදෙණිය විශ්වවිද්‍යාලය මුහුණ දුන් හදිසි ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත් ශිෂ්‍යයින් සහ පීඨාධිපතීන් හමු වූ අග්‍රාමාත්‍යවරිය දෙසැම්බර් 07 වන දින විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී මේ බව සඳහන් කළා ය.

අධ්‍යයන ගොඩනැගිලි, ශිෂ්‍ය නේවාසික පහසුකම් සහ ප්‍රධාන යටිතල පහසුකම්වලට සිදු වූ හානිය පරීක්ෂා කිරීම මෙම නිරීක්ෂණ චාරිකාවේ අරමුණ විය. කළමනාකරණ, කෘෂිකර්මවිද්‍යා සහ පශු වෛද්‍ය පීඨවලට මෙන්ම තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය, CDCE, ව්‍යායාම ශාලාව, පිහිනුම් තටාක සහ ක්‍රීඩා පිටිවලට සිදු වී ඇති හානිය පිළිබඳව මෙහිදී විශ්වවිද්‍යාල නිලධාරීන් විසින් අග්‍රාමාත්‍යවරිය දැනුවත් කරන ලදී.

එමෙන්ම නිලධාරීන් විසින් ව්‍යසන තත්ත්වය මඟින් අධ්‍යයන කටයුතු අදාළ වීම මෙන්ම සිසුන්ගේ සහ විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලයට සිදු වූ අපහසුතාවය පිළිබඳව ද අග්‍රාමාත්‍යවරියව දැනුවත් කරන ලද අතර, පරිගණක 110 කට වැඩි ප්‍රමාණයක්, අත්‍යවශ්‍ය රසායනාගාර උපකරණ, විභාග ලියකියවිලි සහ තොරතුරු තාක්ෂණ සේවාදායක හතරක් අහිමි වී ඇති බවත් හානි ඇස්තමේන්තු කිරීමේ දී රුපියල් බිලියන 6 ඉක්ම වූ හානියක් සිදු වී ඇති බවත් පාලන අංශ මෙහිදී වැඩිදුරටත් සඳහන් කළහ. මහවැලි ගඟ ආසන්නයේ පිහිටි නේවාසිකාගාරවලින් සිසුන් 750 කට ආසන්න සංඛ්‍යාවක් කඩිනමින් ඉවත් කිරීමට පියවර ගැනීම පිළිබඳව මෙහිදී අග්‍රාමාත්‍යවරිය විශ්වවිද්‍යාල පාලන අංශය පැසසුමට ලක් කළ අතර මෙම හදිසි ආපදා තත්ත්වය අතරතුර විශ්වවිද්‍යාල භූමියේ රැඳී සිටි සිසුන් 11,000 කට ආසන්න සංඛ්‍යාවකගේ ධෛර්යය අගය කළාය.

ප්‍රවේශය සීමා කරමින් සන්නිවේදනයට දැඩි ලෙස බාධා ඇති වූ අවස්ථාවක ආහාර, ජලය සහ අත්‍යවශ්‍ය සැපයුම් සැපයීම වෙනුවෙන් කැපවුණු ශ්‍රී ලංකා හමුදාව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ දේශීය පරිත්‍යාගශීලීන්ට ද අග්‍රාමාත්‍යවරිය සිය කෘතඥතාව පළ කළාය.

විශ්වවිද්‍යාල ගොඩනැගිලි කිහිපයක් සඳහා හදිසි අලුත්වැඩියාවන් අවශ්‍ය වීම හැර, විශ්වවිද්‍යාල ගොඩනැගිලි යහපත් තත්වයෙන් පවතින බව ඉංජිනේරු කණ්ඩායමක් විසින් තහවුරු කරන ලදි. විශ්වවිද්‍යාලයීය අධ්‍යයන කටයුතු දෙසැම්බර් 15 දක්වා අත්හිටුවා ඇත.

විශ්විද්‍යාල කටයුතු යළිත් යථා තත්ත්වයට පත් කිරීමට සහ සිසුන්ගේ අධ්‍යයන කටයුතු හා දෛනික චර්යාවන් සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට සහාය ලබා දීමට අවශ්‍ය පියවර පිළිබඳව අග්‍රාමාත්‍යවරිය විශ්වවිද්‍යාල උපකුලපති සහ හදිසි ප්‍රතිචාර කණ්ඩායම් සමඟ සාකච්ඡා කළා ය.

මෙම සාකච්ඡා අතරතුර, අග්‍රාමාත්‍යවරිය විසින් ජලය, විදුලිය සහ සිසුන් සඳහා ආරක්ෂිත ප්‍රවේශ මාර්ග වැනි අත්‍යවශ්‍ය සේවාවන් යථා තත්ත්වයට පත් කිරීම; දැඩි ලෙස හානි වූ පීඨ සහ රසායනාගාර යථා තත්ත්වයට පත් කිරීම වේගවත් කිරීම; ගංවතුරට ගොදුරු විය හැකි ප්‍රදේශ සඳහා පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති ශක්තිමත් කිරීම; සහ ගං ඉවුරු ආරක්ෂා කිරීම, ජලාපවහනය වැඩිදියුණු කිරීම සහ අවදානමට ලක්විය හැකි යටිතල පහසුකම් නැවත ස්ථානගත කිරීම වැනි දිගුකාලීන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක ඇතුළත් ක්ෂණික සහන ලබා දීමට කටයුතු සැලසීම සහ දිගුකාලීන ආරක්ෂාව සහතික කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් නියෝග මාලාවක් නිකුත් කරන ලදී. පෙරට වඩා ශක්තිමත්, ආරක්ෂිත ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලය නැවත ගොඩනැගීමට සහාය ලබා දීමට රජය සූදානම් බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරිය රජයේ උපකාර කඩිනම් කරන ලෙස අදාළ ආයතනවලට උපදෙස් දුන්නාය.

මෙම අවස්ථාවට අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා; මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත්; සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ආර්. ඩබ්ලිව්. පල්ලේගම සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පීඨාධිපතීන් , නිලධාරීන් සහ ශිෂ්‍ය නියෝජිතයින් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

අවශ්‍ය සහන ලබා දෙමින් ජන ජීවිතය යථාතත්ත්වයට පත් කිරීමට නම් ප්‍රාදේශිය මට්ටමේ නිලධාරීන්ගේ කාර්යක්ෂම සහයෝගය අවශ්‍යයි. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

සුරක්ෂා කඳවුරුවල සිටින දරුවන්ගේ මානසික සෞඛ්‍ය පිලිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතුයි.

ජන ජීවිතය සමාන්‍ය තත්ත්වයට පත්කිරීම සඳහා රජය ලබා දිය හැකි උපරිම සහන සහ ප්‍රතිපාදන ලබා දෙන බවත්, ජනතාවට කඩිනමින් අවශ්‍ය සහන ලබා දෙමින් ජන ජීවිතය යථාතත්ත්වයට පත් කිරීමට නම් ප්‍රාදේශිය මට්ටමේ නිලධාරීන්ගේ කාර්යක්ෂම සහයෝගය අවශ්‍ය බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

පැවති ආපදා තත්ත්වය හමුවේ මහනුවර දිස්ත්‍රික්කයට සිදු වූ හානියෙන් අවතැන් ජනතාව වෙත සහන ලබාදීමේ සහ ජන ජීවිතය යථාතත්ත්වයට පත් කිරීමේ කටයුතු පිළිබඳ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මහනුවර උඩපළාත ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ දෙසැම්බර් 07 දින පැවති ආපදා කළමනාකරණ කමිටු සාකච්ඡාවේදි අග්‍රාමාත්‍යතුමිය මේ බව පැවසීය.

ගෙලිඔය, උඩපලාත, දොළුව ප්‍රදේශවල ආපදාවෙන් සිදු වූ හානිය සහ සහන සැපයීම් කටයුතුද අග්‍රාමාත්‍යතුමියගේ නිරීක්ෂණයට ලක්විය.

උඩපළාත සහ දොළුව ප්‍රදේශය ආවරණය වන පරිදි විදුලිය බිඳවැටීම් බොහෝ දුරට යථාතත්වයට පත්කර ඇති බවත්, ප්‍රධාන මාර්ග මේ වනවිට විවෘතව පවතින බවත් අනෙකුත් ග්‍රාමීය මාර්ග පිරිසිදු කරමින් පවතින බවත් මෙහිදී නිලධාරීන් පැවසීය. ප්‍රදේශයට අවශ්‍ය පානීය ජල සැපයුම් ලබා දෙමින් පවතින අතර සන්නිවේදන බිඳවැටීම් යථාතත්ත්වයට පත් වූ පසු බැංකු කටයුතු නිසි පරිදි සකස් කරන බවත් නිලධාරීන් පැවසීය.

මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

ආපදාවට ලක් වූ රටේ ජන ජීවිත වගේම ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට හැකි වන්නේ අප සියලු දෙනා නම්‍යශීලී භාවයෙන් යුක්තව හා කැපවීමෙන් සිදු කරනු ලබන කාර්යභාරය මත පමණයි, විශේෂයෙන් සුරක්ෂා කඳවුරුවල සිටින දරුවන්ගේ මානසික සෞඛ්‍ය පිළිබඳ අපි වැඩි අවධානයක් යොමු කළ යුතුයි.

මේ වගේ බිහිසුණු ව්‍යසනයක් යටතේ ජනතාවගේ ජීවිත රැක ගන්න අපිට හැකි වුණේ මෙවැනි අපදා තත්වයන් පිළිබඳ අත්දැකීම් තිබුණත් නැතත් ඔබ කළ කැප කිරීම නිසයි.

මේ අතිශය දුෂ්කර අවස්ථාවේදී රාජකාරී ඉක්මවා යමින් සිදු කළ කැපකිරීම වෙනුවෙන් සියලු දෙනාට සිය ස්තූතිය පුද කරන බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

මහනුවර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පෂ්මින් ෂරීෆ්, තනුජ දිසානායක, අතිරේක දිස්ත්‍රික් ලේකම් ලලිත් ඇටම්පාවල, උඩ පළාත් ප්‍රාදේශිය ලේකම් ආත්මා ජයරත්න, දොළුව ප්‍රාදේශිය ලේකම් යමුණා දයාරත්න යන මහත්ම මහත්මීන් ද, විදුලිය බලමණ්ඩලය, ජලසම්පාදන මණ්ඩලය, මාර්ග සංවර්ධන අධිකාරිය, පොලීසිය, ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය යන ආයතන නියෝජනය කරමින් නිලධාරීන් ද මෙම අවස්ථාවට සහභාගී විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය