අග්‍රාමාත්‍ය කාර්යාලය

ශ්‍රී ලංකා ප්‍ර‍ජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයාගේ නිල රාජකාරි කටයුතු සිදුකරන අග්‍රාමාත්‍ය කාර්යාලය, රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුකූලව ආර්ථික හා සමාජීය සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනිම උදෙසා අවශ්‍ය මඟපෙන්වීම, සම්බන්ධීකරණය හා නායකත්වය ලබා දීම සිදුකරනු ලබයි.

එමෙන්ම, කාලීන අභියෝග හමුවේ නොබියව, තිර අදිටනින් යුතුව එම අභියෝග සඳහා කඩිනම් පිළියම් යෙදීමටත්, ජනතාවගේ අපේක්ෂාවන් සඵලකර දීම සඳහා දුෂ්කර කාල සීමාවන්හි, ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමින් එකී අපේක්ෂාවන් ඉටුකිරීමට අවශ්‍ය නායකත්වය ලබා දීම අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් සිදු කරනු ලබයි. තවද,රටේ සංවර්ධන කාර්ය සඵල කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය හා ජනතා කේන්ද්‍රීය ප්‍රවේශයක් තුළින් තිරසර ලෙස රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය දායකත්වය, මඟපෙන්වීම හා මනා සම්බන්ධීකරණයක් සැපයීම හා ගෝලීය අන්‍යෝන්‍ය සබඳතා පුළුල් කිරීමේ අරමුණින් රාජ්‍යතාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙන් දායකත්වය සැපයීමත්,අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් නිරන්තරවමසිදු කරනු ලබයි.

දැක්ම

“ස්වාධින ස්වෛරී හා සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක්”

මෙහෙවර

“ශ්‍රී ලාංකීය ජනතාවගේ අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම පිණිසත්, ජීවන තත්ත්වයන් නංවාලීම පිණිසත් රාජ්‍ය හා පෞද්ගලික ආයතන, විදේශ දූත මණ්ඩල, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු විදේශීය සංවර්ධන සහයෝගීතා ආයතන හා රාජ්‍ය නොවන ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් විශිෂ්ට රාජ්‍ය යාන්ත්‍රණයක් උදෙසා අවැසි නායකත්වය සැපයීම”

ශ්‍රී නව කදිරේෂන් කෝවිලේ වාර්ෂික ආඩිවේල් පෙරහැරට අග්‍රාමාත්‍යතුමිය පූජෝපහාර දක්වයි

ශ්‍රී නව කදිරේෂන් කෝවිලේ වාර්ෂික ආඩිවේල් පෙරහැර අද (ජූලි 28) පස්වරුවේ අරලියගහ මන්දිරය අභියසින් ගමන්ගත් අතර, එහිදී වේල් පෙරහැර වෙත අග්‍රාමාත්‍ය කාර්යාලයේ පූජෝපහාරය දැක්වීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය එක්වූවාය.

​සම්ප්‍රදායානුකූල බෙර වාදනය පෙරටු කරගනිමින් අරලියගහ මන්දිරයේ සිට වේල් කරත්තය අභියසට අග්‍රාමාත්‍යතුමිය කැඳවාගෙන යාමෙන් අනතුරුව එහි වැඩම කරවා තිබූ කඳසුරිඳු දේව ප්‍රතිමාව වෙත පලතුරු වට්ටියක් පූජා කරමින් ආගමික වතාවත්වල නිරත වී දේව ආශිර්වාද ලබාගත්තා ය.

​අනතුරුව, වේල් පෙරහැරේ සංවිධායක මණ්ඩලය විසින් අග්‍රාමාත්‍යතුමියගේ සහභාගීත්වය අගය කරමින් මල්දමක් පළඳවා, පටසළුවක් පොරවා තම කෘතඥතාව පළ කළේය.

​කොළඹ හෙට්ටි වීදිය සහ බම්බලපිටිය නාට්ටුක්කෝට්ටෛ නගරත්තාර් ශ්‍රී නව කදිරේෂන් කෝවිල එක්ව වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම ආඩිවේල් මහෝත්සවය සහ රථ පෙරහැර මංගල්‍යය වර්ෂ 1874 සිට අඛණ්ඩව පවත්වාගෙන එනු ලබන අතර, එහි 152 වැනි වේල් පෙරහැර මෙවර පැවැත්විය.

​අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

රටක සැබෑ දියුණුව මනිනු ලබන්නේ ජනතාවගේ ගුණධර්ම සහ ආධ්‍යාත්මික වර්ධනය මතයි - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

භෞතික සංවර්ධනය කොයිතරම් සිදු වුවද, රටක සැබෑ දියුණුව මනිනු ලබන්නේ ජනතාවගේ ගුණධර්ම, හික්මීම සහ ආධ්‍යාත්මික වර්ධනය මත බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

කළුතර දකුණ, රෙමුණගොඩ කෝන්ගොඩ ශ්‍රී ගංගාරාම පුරාණ මහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද ලෝහමය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ මහෝත්සවයට සහභාගී වෙමින් ජූලි 28 වන දින අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය.

මෙහිදී පයාගල මලේගොඩ ශ්‍රී පුෂ්පාරාම මහා විහාර ගණයේ ආධිපත්‍යය හොබවන, බෙන්තර වල්ලල්ලාවිට කෝරළයේ ප්‍රධාන සංඝනායක, අතිපූජ්‍ය මලේගොඩ නන්ද නායක ස්වාමීන්වහන්සේ විසින් ලෝහමය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කරනු ලැබූ අතර, අනතුරුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් බුද්ධ ප්‍රතිමා වහන්සේ උදෙසා මල් වට්ටියක් පූජා කරමින් ආගමික වතාවත්වල නිරත වූවාය.

අනතුරුව පැමිණසිටි පිරිස ඇමතූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

වර්තමාන වේගවත් හා සංකීර්ණ සමාජ වටපිටාව තුළ අපේ ජනතාවගේ සිත්වලට වඩාත්ම අවශ්‍ය කරන්නේ සංයමය සහ ආධ්‍යාත්මික සැනසීමයි.

අපි අහලා තිබෙනවා නේරුතුමා සිරගත වූ අවස්ථාවේත් අධ්‍යාත්මික සැනසීම වෙනුවෙන් සමාධිපිළිමයක් ළඟ තබාගත් බව,

ඓතිහාසික කෝන්ගොඩ ශ්‍රී ගංගාරාම පුරාණ මහා විහාර භූමියේ මෙවැනි කලාත්මක ලෝහමය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමත් මම දකින්නේ සමස්ත ප්‍රදේශයේම බෞද්ධ ජනතාවගේ ආධ්‍යාත්මික සුවය උදෙසා සිදුවන අතිමහත් මෙහෙවරක් ලෙසයි. විශේෂයෙන් ප්‍රදේශයේ ජනතාව සතුව පැවති ලෝහවලින් ⁣මෙවැනි ප්‍රථිමාවක් නිර්මාණය කිරීම අගය කළ යුතුයි.

රටේ ඓතිහාසික, ආගමික සහ සංස්කෘතික උරුමයන් සුරක්ෂිත කිරීම සහ විහාරස්ථාන සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් රජයක් ලෙස විශාල වගකීමක් පැවරී තිබෙනවා, ඒ වගකීම ඉටු කිරීමේදී බුද්ධ ශාසන අමාත්‍යංශය සහ මධ්‍යම සංස්කෘතික අරමුදල හරහා සුවිශේෂී කාර්යභාරයක් රජය මේ වනවිට ඉටු කරමින් යනවා.

මෑත කාලය තුළ දිවයින පුරා පිහිටි පෞරාණික විහාරස්ථානවල පැරණි බිතුසිතුවම්, ශිලා ලේඛන සහ චෛත්‍ය රාජයාණන් වහන්සේලා අනාගත පරම්පරාව උදෙසා සංරක්ෂණය කිරීමේ පියවර රැසක් ආරම්භ කළා. නගරයේ පමණක් නොවෙයි, දුරස්ථ ග්‍රාමීය ප්‍රදේශවල පිහිටි දුෂ්කර විහාරස්ථානවල යටිතල පහසුකම් සංවර්ධනයට මූල්‍ය හා තාක්ෂණික සහාය ලබා දීමද මධ්‍යම සංස්කෘතික අරමුදල හරහා වේගවත් සිදු කරමින් තිබෙනවා.

විශේෂයෙන්, තරුණ පරම්පරාවට ඓතිහාසික උරුමය පිළිබඳ නිසි අවබෝධයක් ලබාදීමටත්, පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කරමින් ඒවා දේශීය හා විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගන්නා ස්ථාන බවට පත්කිරීමටත් කටයුතු කිරීම ඉතාම වැදගත්.

ඓතිහාසික විහාරස්ථාන රැකගැනීම කියන්නේ හුදෙක් ගොඩනැගිලි නඩත්තු කිරීමක් නොවෙයි, අපගේ ජාතික අනන්‍යතාවය, සදචාරාත්මක පදනම සහ අගනා සංස්කෘතික උරුමය අනාගත පරපුරට සුරක්ෂිතව දායාද කිරීමක්. භෞතික සංවර්ධනය කොයිතරම් සිදු වුවත්, රටක සැබෑ දියුණුව මනිනු ලබන්නේ ජනතාවගේ ගුණධර්ම, හික්මීම සහ ආධ්‍යාත්මික වර්ධනය මතයි. භෞතික සම්පත්වලින් මෙන්ම ආධ්‍යාත්මික ගුණධර්මවලින් පෝෂණය වූ, නිදහස්, සාධාරණ සහ සහජීවනයෙන් පිරි ශ්‍රී ලාංකේය සමාජයක් ගොඩනැගීම රජයේ ද ප්‍රධාන අරමුණ යි.

ඓතිහාසික කෝන්ගොඩ ශ්‍රී ගංගාරාම පුරාණ මහා විහාරය වැනි විහාරස්ථානවලින් සිදුවන්නේත් රජය අරමුණු කළ සමාජය යහමගට යොමුකිරීමේ සහ හික්මවීමේ උතුම් කාර්යභාරය යි. ඒ නිසා විශේෂයෙන්ම දහම් පාසල් අධ්‍යාපනය තුළින් යහපත්, ගුණගරුක සහ බුද්ධිමත් දරු පරපුරක් බිහිකිරීමටත්, ප්‍රජා සමගිය ගොඩනැගීමටත් පූජනීය මහා සංඝරත්නයෙන් සහ විහාරස්ථානවලින් ලැබෙන මාර්ගෝපදේශනය රජයක් ලෙස අගය කරන බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කල්‍යාණි ධර්ම මහා සංඝසභාවේ අනුනායක අතිපූජ්‍ය මකුරුප්පේ සෝමාලංකාර ස්වාමින් වහන්සේ, විහාරාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය අතුරලියේ සෝමානන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සංජීව රණසිංහ, නන්දන පුෂ්පකුමාර යන මහතවරුන්, ප්‍රදේශයේ මහජන නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන්, විහාරස්ථ දායක සභාවේ නිලධාරීන් ඇතුළු ප්‍රදේශවාසීන් විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ශ්‍රේෂ්ඨ කලාවකට ජාතියක්, ආගමක් හෝ භාෂාවක් නැහැ. මනුෂ්‍යත්වය සහ එකමුතුකම එහි සැබෑ භාෂාවයි... අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

ආචාර්ය සුජාතා අත්තනායක වැනි කලාකරුවන් ඒ සත්‍යය අපට කියා දුන්නා...

ශ්‍රේෂ්ඨ කලාවකට ජාතියක්, ආගමක් හෝ භාෂාවක් නොමැති අතර මනුෂ්‍යත්වය සහ එකමුතුකම එහි සැබෑ භාෂාව බවත්, ආචාර්ය සුජාතා අත්තනායක වැනි කලාකරුවන්ගේ නිර්මාණ ඒ සත්‍යය වටහා දී ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

ආචාර්ය සුජාතා අත්තනායක වෙනුවෙන් පැවැති උපහාර ප්‍රණාම උළෙලේ දී අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළා ය.

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව විසින් සංවිධානය කරන ලද “ආචාර්ය සුජාතා අත්තනායක ප්‍රණාම” විශේෂ උපහාර වැඩසටහන ජූලි 28 වැනි දා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් ගුවන්විදුලි සංස්ථාවේ කුමාරතුංග මුනිදාස මැදිරියේ දී පැවැත්විණි.

දශක හතකට වැඩි කාලයක් පුරාවට මෙරට සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් මෙන්ම ගුවන්විදුලි සංස්ථාව වෙනුවෙන් ආචාර්ය සුජාතා අත්තනායක ගායනවේදිනිය විසින් ඉටුකළ මෙහෙවරට උත්තමාචාර පුද කිරීම මෙම වැඩසටහනේ අරමුණ වූ අතර, එතුමියට උපහාර ලෙස ගුවන්විදුලි සංස්ථාවේ දී එතුමියගේ ඡායාරූපයක් විවෘත කිරීම ද මෙහිදී සිදු විය.

මෙහි දී උත්සව සභාව අමතමින් අග්‍රාමාත්‍යතුමිය සඳහන් කළේ, වයස අවුරුදු අටක දැරියක ලෙසින් ඇරඹුණු ආචාර්ය සුජාතා අත්තනායකගේ සංගීත චාරිකාව පරම්පරා ගණනාවක ආදරය දිනාගත් අද්විතීය කලා ගමනක් වූ බවයි.

ජාතියක සංස්කෘතික මතකය ගොඩනැඟෙන්නේ ඉතිහාස පොත්වලින් පමණක් නොව, මිනිසුන්ගේ හදවත් තුළ ජීවත්වන නිර්මාණ, ස්වර සහ මතකයන් තුළින් බව පැවසූ අග්‍රාමාත්‍යතුමිය, එවැනි නිර්මාණකරුවන් ජාතියක අනන්‍යතාව ගොඩනඟන පුරෝගාමීන් බව පෙන්වා දුන්නා ය. ඒ සඳහා ආචාර්ය සුජාතා අත්තනායක ගායනවේදිනිය හොඳම නිදසුනක් බව ද අග්‍රාමාත්‍යතුමිය ප්‍රකාශ කළා ය.

දශක හතකට අධික කාලයක් පුරා එතුමියගේ හඬ ශ්‍රී ලාංකේය ජනතාවගේ ජීවිත සමඟ බද්ධ වී ඇති අතර, සතුට, දුක, ආදරය, භක්තිය ඇතුළු ජීවිතයේ විවිධ සන්ධිස්ථානවල දී එම ගීත පසුබිම් වූ බව සිහිපත් කළ අග්‍රාමාත්‍යතුමිය, “ආචාර්ය සුජාතා අත්තනායක ගායනා කළේ ගීත පමණක් නොව හැඟීම් බව ද සඳහන් කළා ය.

ගායනය යනු කෙතරම් ආත්මීය කලා මාධ්‍යයක් ද යන්න ආචාර්ය සුජාතා අත්තනායක සිය ජීවිතයෙන් සනාථ කොට ඇති බව පැවසූ අග්‍රාමාත්‍යතුමිය, එතුමියගේ හඬ කිසිවිටෙක එක් ජාතියකට, එක් භාෂාවකට හෝ එක් සංස්කෘතියකට සීමා නොවූ බව ද අවධාරණය කළා ය. සිංහල, දෙමළ සහ ඉස්ලාම් සංස්කෘතික ගීත ගායනා කිරීමෙන් මෙන්ම විවිධ ප්‍රජාවන් සමඟ කලාත්මක බැඳීම් ගොඩනැඟීමෙන් එතුමිය සහජීවනය හා සහකම්පනය ශක්තිමත් කළ කලාකාරිනියක වූ බව ද අග්‍රාමාත්‍යතුමිය ප්‍රකාශ කළා ය.

එමෙන්ම ජූලි මාසය යනු මෙරට අතීත අඳුරු මතකයන් රැසක් සමඟ බැඳී ඇති මාසයක් බව සිහිපත් කළ අග්‍රාමාත්‍යතුමිය, එම වේදනාබර මතක අනාගත පරපුරට වෛරයක් ලෙස නොව, සංහිඳියාව සහ සහෝදරත්වය ගොඩනඟන මතකයක් ලෙස උරුම කළ යුතු බවත්, “කළු ජූලිය” යන හැඳින්වීමෙන් ඔබ්බට ගොස් ජූලි මාසය සියලු ලාංකිකයන් එකිනෙකාට සමීප කරන “සහෝදරත්වයේ මාසයක්” බවට පත් කළ යුතු බවත් අවධාරණය කළා ය.

වැඩිදුරටත් අදහස් පළකළ අග්‍රාමාත්‍යතුමිය,

“අපේ කලාව සහ සංස්කෘතිය කිසිදා තනි ජාතියක හෝ තනි ජන කොට්ඨාසයක නිර්මාණයක් නොවෙයි. මේ රටේ විවිධ ජනවර්ග, භාෂා සහ සංස්කෘතික සම්ප්‍රදායන් එකිනෙකා සමඟ මුසු වූ තැනින් තමයි අපේ ජාතික අනන්‍යතාව ගොඩනැඟුණේ. අපේ ගීතය හදවත්වලට සමීප වුණේත්, අපේ සිනමාව ලෝකය හඳුනාගත් කලා මාධ්‍යයක් බවට පත්වුණේත්, නර්තනය ඇතුළු සියලු කලා අංග අසමසම සුන්දරත්වයකින් බැබළුණේත් ඒ විවිධත්වය නිසයි. සදාකාලික වටිනාකමක් ඇති නිර්මාණ බිහිවන්නේ බෙදී වෙන්වී ගිය විට නොවෙයි, එකිනෙකාගේ අත්වැල් අල්ලාගෙන, වෙනස්කම්වලට ගරු කරමින් ඉදිරියට යන විටයි. ඒ නිසා අපේ රටේ හෙට දවස ගොඩනැඟිය හැක්කේ සියලු දෙනා එක්ව, සහෝදරත්වයෙන්, සහයෝගයෙන් සහ අන්‍යෝන්‍ය ගෞරවයෙන් යුතුව ඉදිරියට ගමන් කළොත් පමණයි. ඒ සත්‍යය ආචාර්ය සුජාතා අත්තනායක වැනි අතිදක්ෂ කලාකරුවන් සිය ජීවිතයෙන්, සිය කලාවෙන් සහ සිය මානවීය බැඳීමෙන් අපට හොඳින්ම පෙන්වා දී තිබෙන බව ද අග්‍රාමාත්‍යතුමිය පැවසුවා ය.

මෙම අවස්ථාව සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞශල්‍යා ආරියරත්න, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති මහාචාර්ය උදිත ගයාශාන් ගුණසේකර, ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ, ආචාර්ය නවරත්න රත්නායක යන මහත්ම මහත්මීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

“සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්” ජාතික සුපිළිපන් සතිය අදින් ඇරඹේ.

සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා වන “සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්” ජාතික මෙහෙයුම ක්‍රියාවට නැංවීම වෙනුවෙන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතාගේ සහභාගීත්වයෙන් ජූලි 27 දින අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

රජයේ ප්‍රමුඛතම අභිලාෂය වන ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය සේවයේම ගුණාත්මක භාවය, කාර්යක්ෂමතාව සහ පාරදෘශ්‍යභාවය ඉහළ නැංවීම මෙන්ම දූෂණයෙන් තොර ආදර්ශමත් පරිපාලන ව්‍යුහයක් ගොඩනැගීමේ අරමුණ සාක්ෂාත් කර ගැනීම උදෙසා ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන හා ඒකාබද්ධ වෙමින් රාජ්‍ය සේවයේ ආචාර ධර්ම, වටිනාකම් ශක්තිමත් කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.

සමස්ත දිවයිනම ආවරණය වන පරිදි “සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්” මැයෙන් ක්‍රියාත්මක වන ජාතික සුපිළිපන් සතිය - 2026 ජූලි 27 වන දින සිට ජුලි 31 වන දින දක්වා ක්‍රියාත්මක වේ. මෙය එක් සතියකට පමණක් සීමා වූ සැමරුම් උත්සවයක් නොවන අතර, රාජ්‍ය සේවයේ පදනම ස්ථිරසාර ලෙස වෙනස් කරන කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් සඳහා වන ප්‍රවේශයකි.

දැනුවත් කිරීමේ වැඩමුළුවට සහභාගී වෙමින් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා මෙම වැඩසටහන හරහා good governance ගැන තිබෙන මතය පිළිබඳ නැවත සිතන්න අවස්ථාව සලසන බවත්, දූෂණ සංජානන දර්ශකයේ (Corruption Perceptions Index - CPI) ගෝලීය වශයෙන් ශ්‍රී ලංකාව රටවල් 14ක් අභිබවමින් ඉදිරියට පැමිණ තිබෙන බව ද අවධාරණය කළේය.

මෙම දැනුවත් කිරීමේ වැඩමුළුව ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ප්‍රදීපා සේරසිංහ මහත්මියගේ සම්පත්දායකත්වයෙන් පැවැත්වුණි.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන්, අංශ ප්‍රධානීන් ඇතුළු නිලධාරීන් සහභාගි වුහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව කරුණු සහ සාක්ෂි මත පදනම් විය යුතුයි. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

​“අපි කරන්නේ නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කර ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය කෙරෙහි ගෞරවය සහ ජනතා විශ්වාසය යළි ගොඩනැගීමයි.”

අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව කරුණු සහ සාක්ෂි මත පදනම් විය යුතු බවත්, ජනවරම අනුව නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කර ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය කෙරෙහි ගෞරවය සහ ජනතා විශ්වාසය යළි ගොඩනැගීමට රජය කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ 2026 ජූලි 24 දින පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව ප්‍රකාශ කළාය.

විවාදයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ විපක්ෂය විසින් ඉදිරිපත් කළ චෝදනා කිසිදු කරුණක් හෝ සාක්ෂියක් මත තහවුරු කිරීමට අපොහොසත් වී ඇති බවත්, ඔවුන්ගේ තර්ක බොහෝ දුරට වාචික සහ පුද්ගලික ප්‍රහාර මත පදනම් ව ඇති බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමිය,

​“ජූලි 5 සහ 6 දිනවල මුහුණ දීමට සිදුවූ සිද්ධිය ඉතාමත් ඛේදනීයයි.ඉන් සිදු වූ ජීවිත හානි කිසිසේත්ම පිළිගත නොහැකියි, ඒ වගේම කිසිදු ආකාරයකින් එය සාධාරණීකරණය කළ නොහැකි දෙයක්.

කෙසේ වෙතත්, එම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා පමණක් වගකිව යුතු බවටත්, සිද්ධියට පෙර, සිදුවන අවස්ථාවේ සහ ඉන් පසුව ඔහුගේ ක්‍රියාකලාපය ජනතා විශ්වාසය කඩකිරීමක් වූ බවටත් විපක්ෂය නගන චෝදනා, කරුණු සහ සාක්ෂි මත ඔප්පු කළ යුතුයි.

සභාවේ ඇතිකරන ඝෝෂාවෙන්, පුද්ගලික ප්‍රහාරවලින්, ද්වේෂ සහගත ප්‍රකාශවලින් සත්‍ය බව තහවුරු වන්නේ නැහැ.

අද අපට අසන්න වෙලා තිබෙන්නේ සත්‍යය විකෘති කිරීමක්, කරුණු වැරදි ලෙස ඉදිරිපත් කිරීමක්, අර්ධ සත්‍යයන් සහ කැබිනට් අමාත්‍යවරයෙකුට ද්වේෂ සහගත ප්‍රහාර එල්ල කිරීමක් පමණයි. එවැනි දේවලින් මෙම විශ්වාසභංග යෝජනාවේ අරමුණ තහවුරු වන්නේ නැහැ.”

වර්තමාන රජය බලයට පත්වීමට පෙර සිටම බන්ධනාගාර පද්ධතියේ පැවති ව්‍යුහාත්මක දුර්වලතා වසර ගණනාවක් තිස්සේ විසඳා නොතිබූ බවද අග්‍රාමාත්‍යතුමිය පෙන්වා දුන්නාය.

2022 වසරේ සිට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු පැවති නමුත් වර්තමාන රජය ඒවා පිරවීමට පියවර ගෙන ඇති බවද ඇය සඳහන් කළාය.

​“පසුගිය වසර තුළ බන්ධනාගාර නියාමකවරුන් 695 දෙනෙකු බඳවාගෙන තිබෙනවා. තවත් 190 දෙනෙකු බඳවා ගැනීමේ කටයුතු සිදුවන අතර සහකාර බන්ධනාගාර අධිකාරීවරුන් 18 දෙනෙකු පත්කර තිබෙනවා. 2022 වසරෙන් පසු මෙම පුරප්පාඩු පිරවීම ආරම්භ වූ පළමු අවස්ථාව මෙයයි.”

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ශක්තිමත් කිරීම සඳහා පුරප්පාඩු පිරවීම, අත්‍යවශ්‍ය උපකරණ සඳහා ප්‍රතිපාදන වෙන් කිරීම, ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීම සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ක්‍රියාපටිපාටි සමාලෝචනය කිරීම ඇතුළු ප්‍රතිසංස්කරණ රැසක් මේ වන විට ක්‍රියාත්මක කර ඇති බවද අග්‍රාමාත්‍යතුමිය අවධාරණය කළාය.

රක්ෂිත බන්ධනාගාරවල රඳවා සිටින පිරිස අවම කිරීමේ අවශ්‍යතාව පිළිබඳ අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමිය,

විෂ වර්ග සහ අන්තරායකර ඖෂධ පනත සංශෝධනය කිරීම ඇතුළු නීති ප්‍රතිසංස්කරණ මේ වන විටත් සිදුවන අතර එම සංශෝධන ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සඳහන් කළා ය.

​“අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා මේ ප්‍රශ්න නොසලකා හැරියා කියලා කියන්න බැහැ. නීති ප්‍රතිසංස්කරණ එක රැයකින් සිදු කළ නොහැකියි. ඒ සඳහා නියමිත ක්‍රියාපටිපාටියක් තිබෙනවා. එම ක්‍රියාවලිය මේ වන විටත් ක්‍රියාත්මකයි.”

බන්ධනාගාරවල තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා වර්තමාන අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ගෙන ඇති පියවරද අග්‍රාමාත්‍යතුමිය පැහැදිළි කළාය. සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ එක්ව සිරකරුවන්ට සහ බන්ධනාගාර කාර්ය මණ්ඩලයට සෞඛ්‍ය සේවා පුළුල් කිරීම, නේවාසික සහ විශේෂඥ වෛද්‍ය සේවා හඳුන්වාදීම, නව සෞඛ්‍ය කාර්ය මණ්ඩල බඳවා ගැනීම සහ ප්‍රතිකාර සඳහා ප්‍රවේශය වැඩිදියුණු කිරීම ඒ අතර වේ.

එමෙන්ම නැවත අපරාධවලට යොමුවීම අවම කිරීම සඳහා ප්‍රජාමූලික පුනරුත්ථාපන වැඩසටහන් සහ වෘත්තීය පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරමින් නිදහස ලැබීමෙන් පසු රැකියා අවස්ථා සඳහා අවශ්‍ය කුසලතා සිරකරුවන්ට ලබාදීමේ වැඩපිළිවෙළද ක්‍රියාත්මක වන බව අග්‍රාමාත්‍යතුමිය පැවසුවාය.

අධිකරණ ක්ෂේත්‍රයේ පුළුල් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම පිළිබඳ රජයේ කැපවීම යළි අවධාරණය කරමින් අග්‍රාමාත්‍යතුමිය මෙසේද සඳහන් කළාය.

​“අපගේ ජනවරම හිමිවන්නේ නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කර ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය කෙරෙහි ගෞරවය සහ ජනතා විශ්වාසය යළි ගොඩනැගීමටයි.”

වර්තමාන රජයට කටයුතු කිරීමට සිදු ව ඇත්තේ වසර ගණනාවක් පුරා පැවති පද්ධතිමය දූෂණය, ආයතනික අකාර්යක්ෂමතාව සහ ව්‍යුහාත්මක දුර්වලතා හේතුවෙන් බිඳ වැටුණු අධිකරණ පද්ධතියක් සමඟ බව අග්‍රාමාත්‍යතුමිය අවධාරණය කළාය.

​“මෙවැනි දූෂිත පද්ධතියක් නැවත ගොඩ නැගීම පහසු කාර්යයක් නොවේ. මෙම සිදුවීම ද අතීතයේ බන්ධනාගාර පද්ධතිය ක්‍රියාත්මක වූ ආකාරය යන පුළුල් පසුබිම තුළ තේරුම් ගත යුතුයි. අපි ගොඩ නැගිය යුත්තේ එවැනි දූෂිත පද්ධතියක්. එම වගකීම අධිකරණ අමාත්‍යවරයාට පැවරී තිබෙනවා. ඒ සඳහා ආයතනය තුළම විමර්ශන සිදු කළ යුතුයි. එය පහසු කාර්යයක් නොවෙයි. එහෙත් මෙම රජය එම අභියෝගය භාරගෙන තිබෙනවා.”

විපක්ෂය මෙතෙක් මෙම විශ්වාසභංග යෝජනාවට සහාය දෙන කිසිදු කරුණක් හෝ සාක්ෂියක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති බවත්, මෙය හුදෙක් වාචිකව සිදු කරන දේශපාලන අපහාසයක් පමණක් බවත් අග්‍රාමාත්‍යතුමිය වැඩිදුරටත් පැවසුවාය.

​“මෙය අධිකරණ පද්ධතිය පිළිබඳ දෙයක් නොවේ. රජය සහ අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන ප්‍රතිසංස්කරණවලට එරෙහිව විපක්ෂය දියත් කරන තවත් දේශපාලන උත්සාහයක් සහ අවධානය දිනාගැනීමේ ප්‍රයත්නයක් පමණක් බවද අග්‍රාමාත්‍යතුමිය පැවසුවාය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට සම්බන්ධිත දිස්ත්‍රික් කසළ කළමනාකරණ අනු කමිටුව පාර්ලිමේන්තුවේ දී රැස්වෙයි.

කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට සම්බන්ධිත දිස්ත්‍රික් කසළ කළමනාකරණ අනු කමිටුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් ජූලි 22 දින පාර්ලිමේන්තුවේ දී රැස්වුණි.

මෙහිදී පෙර රැස්වීම්වල සාකච්ඡාවට නැගුණු බස්නාහිර පළාතේ නාගරීකරණ ඝන අපද්‍රව්‍යය බැහැර කිරීමේ පහසුකම් සහ ඝන අපද්‍රව්‍ය හේතුවෙන් පැන නැගී ඇති ගැටලු සඳහා ගෙන ඇති වර්තමාන පියවර සාකච්ඡා කරන ලද අතර ඉදිරි සැලසුම් පිළිබඳ විශේෂ අවධානයක් යොමු විය. එමෙන්ම ජනතාව අතර කොම්පෝස්ට් බඳුන්වල විධිමත් භාවිතය ඇති කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමිය, කසළ කළමනාකරණ සම්බන්ධයෙන් ගෙන ඇති ප්‍රතිපත්ති නිසි ලෙස ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළ සැකසිය යුතු බවත් කුණු කසළ නිසි ලෙස බැහැර කිරීමේ පුරවැසි වගකීම පිළිබඳ ඔවුන් දැනුවත් කිරීම සිදු කළ යුතු බවත් අවධාරණය කළා ය.

මෙම අවස්ථාවට නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී, කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ලක්ෂ්මන් නිපුණාරච්චි, දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර, කොලඹ පළාත් ප්‍රධාන ලේකම් ප්‍රදීප් පුෂ්පකුමාර යන මහත්වරුන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන්, කසළ කළමනාකරණ අධිකාරියේ (WMA) නිලධාරීන්, නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් , සාමාන්‍ය පරිසර අධිකාරියේ නිලධාරීන්, කොලඹ නගර සභා නිලධාරීන් සහභාගි වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය