අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ මාලදිවයින් ජනාධිපති ආචාර්ය Mohamed Muizzu මහතා අතර හමුවක්

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය 2026 මැයි 04 වන දින කොළඹ හිල්ටන් හෝටලයේදී මාලදිවයින් ජනාධිපති ආචාර්ය Mohamed Muizzu මහතා හමුවිය.

මාලදිවයින් ජනාධිපති ආචාර්ය Mohamed Muizzu මහතා පිළිගත් අග්‍රාමාත්‍යවරිය, මාලදිවයින් ජනාධිපතිවරයාගේ මෙම නිල සංචාරය හරහා ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් වන බව අවධාරණය කළා ය.

මෙහිදී අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාව වැඩි දියුණු කිරීමේ වැදගත්කම කෙරෙහි අවධානය යොමු කළ අග්‍රාමාත්‍යවරිය මෙම සංචාරය අතරතුර දෙපාර්ශවය අතර අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීම සම්බන්ධයෙන් සඳහන් කළා ය. එමෙන්ම උසස් අධ්‍යාපනය සහ කුසලතා සංවර්ධනය යන ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමේ අවස්ථා සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී ඉස්මතු කළාය.

ආර්ථික වර්ධනය සහ ආයෝජනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංචාරක හා වෙළඳ ක්ෂේත්‍රය වැනි ප්‍රධාන අංශවල සම්බන්ධතාවය ශක්තිමත් කිරීමේ අවස්ථා පිළිබඳව දෙපාර්ශ්වයේ අවධානය යොමු වූ අතර දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීමේ දී කලාපීය මට්ටමින් මෙම අභියෝගවලට සාමූහිකව මුහුණ දීමේ වැදගත්කම ද අවධාරණය කරන ලදී.

ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ද්විපාර්ශ්වික සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් කිරීම සහ ගොඩ නගා ගැනීම සඳහා දෙපාර්ශවයේ කැපවීම මෙම සාකච්ඡාව මඟින් නැවත තහවුරු කරන ලදී.

මෙම අවස්ථාවට මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය Iruthisham Adam මහතා, ආර්ථික සංවර්ධන, ප්‍රවාහන හා වෙළඳ අමාත්‍ය Mohamed Saeed මහතා, ධීවර, කෘෂිකර්ම හා සාගර සම්පත් අමාත්‍ය Ahmed Shiyam මහතා ඇතුළු මාලදිවයින රජයේ ඉහළ පෙළ නියෝජිතයින් සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා, මාලදිවයිනේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මොහොමඩ් රිස්වි හසන්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත මහත්මිය සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ නිලධාරීන් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය