නැණ ඉසුර ශිෂ්‍යත්වය, රජයක් විදිහට අපි ගෙනියන වැඩපිළිවෙළට ලැබෙන ලොකු ශක්තියක්.
අධ්‍යාපනය සෑම දරුවෙකුට හිමිවිය යුතු මූළික අයිතිවාසිකමක් මිසක්, වරප්‍රසාදයක් නොවන බවත්, දරුවන්ට අධ්‍යාපනය අතහැර යාමට සිද්ධවන පසුබිම සම්පූර්ණයෙන්ම නැති කිරීමට රජය ගන්නා උත්සාහයට නැණ ඉසුර ශිෂ්‍යත්වය ශක්තියක් වන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
අති පූජ්‍ය ගල්බොඩ සිරි ඥානිස්සර හිමි අනුස්මරණ “නැණ ඉසුර - 2026” ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයට සහභාගී වෙමින් අගෝස්තු 02 දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය.
කොළඹ හුනුපිටිය ගංගාරාම විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියන්ගේ අනුශාසනාව පරිදි අති පූජ්‍ය ගල්බොඩ සිරි ඥානිස්සර හිමි අනුස්මරණ ශිෂ්‍යත්ව අරමුදල මගින් සංවිධානය කළ මෙම උත්සවයේදී පහ වසර ශිෂ්‍යත්වය සමත් සිසු දරු දැරියන් 460 දෙනෙකු වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්රදානය සිදු කළ අතර උසස් පෙළ අධ්‍යාපනය අවසන් වනතෙක් මෙම ශිෂ්‍යත්ව අරමුදල දරුවන් වෙත ලබා දීමට නියමිතයි.
සිසු දරුදැරියන් වෙත ශිෂ්‍යත්ව ප්‍රදානයෙන් අනතුරුව අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,
අපවත්වී වදාළ පොඩි හාමුදුරුවෝ කියන්නේ, පන්සල කියන සීමාවෙන් ඔබ්බට ගිහින් සමාජ මෙහෙවර තමන්ගේ ප්‍රධාන වගකීම කරගත් ශ්‍රේෂ්ඨ ස්වාමීන් වහන්සේ නමක්.
උන්වහන්සේ භික්ෂූන් වහන්සේනමක් විදිහට ආගමික සහ ශාසනික මෙහෙවර ඉටු කළා වගේම, රටේ අසරණ වුණු, ආර්ථික අපහසුතා තියෙන ජනතාවට සහ දරුවන්ට ලොකු සෙවනැල්ලක් වුණා.
විශේෂයෙන්ම, වෘත්තීය අධ්‍යාපනය, තරුණ සංවර්ධනය සහ ළමා සුබසාධනය උදෙසා උන්වහන්සේ ගංගාරාම විහාරස්ථානය මුල් කරගනිමින් කරපු මෙහෙවර අපට කිසිදාක අමතක කරන්න බෑ. අද මේ ක්‍රියාත්මක වෙන "නැණ ඉසුර" ශිෂ්‍යත්ව අරමුදල කියන්නේ උන්වහන්සේගේ ඒ මානුෂීය සහ අනාගතවාදී දර්ශනයේ සජීවී ප්‍රතිඵලයක්.
ආර්ථික දුෂ්කරතා තිබුණත් නොසැලී උසස් පෙළ දක්වා ඉදිරියට යන මේ දරුවන්ගේ අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න මේ ප්‍රදානයෙන් ලැබෙන්නේ ලොකු පිටුවහලක්.
ඔබ දන්නවා මේ වනකොට රටේ අධ්‍යාපන ක්ෂේත්රයේ දැවැන්ත වෙනසක්, නව පුනරුදයක් ඇති කරන්න රජය කැපවෙලා ඉන්නවා. රජයක් විදිහට අපේ පැහැදිලි දැක්ම තමයි, අධ්‍යාපනය කියන්නේ ඕනෑම දරුවෙකුට හිමිවිය යුතු මූලික අයිතිවාසිකමක් මිසක්, වරප්‍රසාදයක් නොවිය යුතුයි කියන එක.
රටේ ආර්ථික දුෂ්කරතා මොනවා තිබුණත්, දරුවෙකුගේ අධ්‍යාපනය වෙනුවෙන් කරන ආයෝජනය කියන්නේ මේ රටේ අනාගතය වෙනුවෙන් කරන හොඳම සහ විශිෂ්ටතම ආයෝජනයයි. අපිට තිබෙන ප්‍රබල ම සම්පත මානව සම්පතයි. රජය විදිහට අපි අධ්‍යාපන ක්ෂේත්රය වෙනුවෙන් වැදගත් පියවර කිහිපයක්ම ගනිමින් ඉන්නවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ නිදහස් අධ්‍යාපනය සුරැකීම වෙනුවෙන් විෂය මාලාවන් යාවත්කාලීන කරමින්, දැනට තියෙන විභාග කේන්ද්‍රීය අධ්‍යාපන රටාව වෙනුවට දරුවාගේ කුසලතා, නිරීක්ෂණ ශක්තිය සහ සිතීමේ හැකියාව වර්ධනය වෙන ප්‍රායෝගික අධ්‍යාපනික පරිසරයක් නිර්මාණය කිරීම අපේ ප්‍රධාන අරමුණක්.
ඒ වගේම, පොතට සීමා නොකර රටට අවශ්‍ය ආකල්ප සහ භාවිතාවන් සහිත අධ්‍යාපන ක්‍රමයක් ඇති කරන්නයි අපිට අවශ්‍ය වන්නේ. ග්‍රාමීය සහ නාගරික පාසල් අතර තියෙන පරතරය අඩු කරන්න ග්‍රාමීය පාසල්වල යටිතල පහසුකම්, ගුරු හිඟය සහ තාක්ෂණික පහසුකම් වර්ධනය කරන්න අපි වැඩි මුදලක් වෙන් කරලා තියෙනවා. මොකද රටේ කොතැනක ඉපදුණත් සෑම දරුවෙකුටම එක හා සමාන ගුණාත්මක අධ්‍යාපනයක් ලැබෙන්න ඕනේ.
ඒ වගේම, කාලයක් තිස්සේ නිසි වැඩසටහනක් නැතිව ක්‍රියාත්මක වූ අධ්‍යාපන ක්‍රමවේදය නිසා විභාග තියන්න, පථිපල ලබා දෙන තත්වයට පත් වුණා. අද නිසි පරිදි කාල සටහනකට අනුව විධිමත්ව අධ්‍යාපන ක්ෂේත්රය පවත්වා ගන්න අවශ්‍ය කටයුතු අපි සිදු කරමින් යනවා ඒ වෙනුවෙන් අපිට ඔබේ සහය අවශ්‍යයි.
අපි අපේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හරහා පාසල් අධ්‍යාපනයෙන් පස්සේ දරුවෙක් අතරමං නොවී, වෘත්තීය හෝ උසස් අධ්‍යාපනයට යොමුවෙන්න අවශ්‍ය සියලු මාර්ග සහ අවස්ථා අපි පුළුල් කරමින් ඉන්නවා. අධ්‍යාපන ක්ෂේත්රයේ මානව සම්පත වෙනුවෙන් ආයෝජනය කරමින් පාසල් දිවා ආහාර වේල, පෙළපොත්, පාසල් උපකරණ සහ ශිෂ්‍යත්ව වැඩසටහන් හරහා අසරණ පවුල්වල දරුවන්ට අධ්‍යාපනය අතහැරලා යන්න සිද්ධ වෙන පසුබිම සම්පූර්ණයෙන්ම නැති කරන්න රජය නිරන්තරයෙන් කැපවෙලා ඉන්නවා.
නැණ ඉසුර වැඩසටහන මම දකින්නේ රජයේ වැඩපිලිවෙලට ලැබෙන තවත් වටිනා සහයෝගයක් ලෙසයි.
ගංගාරාම විහාරස්ථානය සහ “නැණ ඉසුර” අරමුදල එකතු වෙලා සිදුකරන මේ සමාජ සේවය, රජයක් විදිහට අපි ගෙනියන වැඩපිළිවෙළට ලැබෙන ලොකු ශක්තියක්.
අපවත්වී වදාළ පොඩි හාමුදුරුවන්ගේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යමින් ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි නායක හිමිපාණන් වහන්සේ කරන ආගමික හා සාමාජයීය මෙහෙවර වෙනුවෙන් රජය විදිහට අපේ ගෞරවය පිරිනැමීමටත් මේක අවස්ථාවක් කර ගන්නවා.
මේ සඳහා අවවාද අනුශාසනා ලබා දෙන අපේ කිරින්දේ අස්සජි ස්වාමීන්වහන්සේටත්, ශිෂ්‍යත්ව අරමුදලේ භාරකාර මණ්ඩලයටත්, මේකට ආධාර උපකාර කරන සියලු දෙනාටත් මගේ ගෞරවය සහ ස්තූතිය පිරිනමනවා.
දරුවන් ලබන මේ ශිෂ්‍යත්වය, මුදලක් හෝ ද්‍රව්‍යමය උපකරණ ටිකක් හරි විතරක් නෙවෙයි. ඒක මුළු රටක්ම ඔබේ අනාගතය කෙරෙහි තබන ලොකු විශ්වාසයක්. ඒ නිසා කොච්චර අභියෝග ආවත් ඔබේ උත්සාහය සහ කැපවීම අතහරින්න එපා. අධ්‍යාපනයෙන් සන්නද්ධව , මේ රට යහපත් මඟකට ගෙනියන, කරුණාවන්ත, ගුණගරුක පුරවැසියන් බවට පත්වෙන්න අධිෂ්ඨාන කරගන්නා ලෙසද අග්‍රාමාත්‍යතුමිය මෙහිදී පැවසූවාය.
මෙම අවස්ථාවට සියම් මහා නිකායේ මහා නායක හිමියන් ප්‍රධාන මල්වතු අස්ගිරි අනුනායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා යන මහත්වරුන්, ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්, තානාපතිවරුන්, දායක දායිකාවන්, ශිෂ්‍යත්වලාභී දරුදැරියන් සහ දෙමාව්පියන් විශාල පිරිසක් සහභාගී වූහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය