“විශාල ආර්ථික අර්බුදයක් හමුවේ පවා අප විශ්‍රාමිකයන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කළා.” -අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ජාතික විශ්‍රාමික දිනය නිමිති කර ගනිමින් 2023.10.08 දින කැළණියේ පැවැති විශේෂ සෞඛ්‍ය සායන කඳවුරකදී ය.

අදට යෙදෙන ජාතික විශ්‍රාමික දිනය වෙනුවෙන්, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ, ජාතික විශ්‍රාමි වැටුප් දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්, කැලණිය, වෙදමුල්ල විශ්‍රාමික නිවාඩු නිකේතනය දී මෙම සෞඛ්‍ය කඳවුර පැවැත්විණ.

"හය ලක්ෂ අනූ පන්දහසකට අධික විශ්‍රාමික ජනතාවගේ සමාජ ආර්ථික සුබසාධනය උදෙසා රජය වසරකට රුපියල් බිලියන 418 ක් ඉක්මවූ මුදලක් වැය කරන අතර එය රාජ්‍ය වියදමෙන් 10% ත් 12 ත් අතර ප්‍රමාණයක් බව ද මෙම අර්බුදකාරි අවස්ථාවේදී පවා විශ්‍රාමිකයන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීම උදෙසා රජය අඛණ්ඩව මැදිහත් වන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කරන ලදී.

විශ්‍රාමිකයන් සම්පූර්ණ විශ්‍රාම සුවයෙන් සිටිනවා සේම ඔවුන් සතු දැනුම සහ අත්දැකීම් භාවිතා කරමින් ඉදිරි ජීවිත කාලය පුරා රටේ මතු පරපුර වෙනුවෙන් සිදු කළ හැකි සේවාවන් වල නිරත වනු දැකීම තම අපේක්ෂාව බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කලේය.

රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් රංජිත් අශෝක, කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න, විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ජගත් ඩයස්, විවිධ ආයතන, විශ්‍රාමිකයින් රැසක් මෙම අවස්ථාවට එක්විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය