ජාතික මෙහෙයුම් මැදිරි කමිටු තීරණ - අග්‍රාමාත්‍ය කාර්යාලය

මාතලේ සිවිල් අභියාචනා මහාධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීමේ ව්‍යාපෘතිය නැවත ඇරඹීමට පියවර...

මහනුවර නාගරික අපජල කළමනාකරණ ව්‍යාපෘතියේ කාලය දෙසැම්බර් 31 වෙනිදා දක්වා දීර්ඝ කෙරේ...

මාතලේ සිවිල් අභියාචනා මහාධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීමේ ව්‍යාපෘතිය කඩිනමින් නැවත ආරම්භ කිරීමට අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී රැස් වූ ජාතික මෙහෙයුම් මැදිරි කමිටුව තීරණය කරනු ලැබීය.

මෙම ව්‍යාපෘතිය දිගින් දිගටම අත්හිටුවා තිබීම නිසා ඇතිවිය හැකි කරුණු සලකා බැලීමෙන් අනතුරුව රජයට සිදුවිය හැකි මූල්‍ය පාඩුව වළක්වාලීමට මෙම තීරණය ගනු ලැබීය.

මහනුවර නාගරික අපජල කළමනාකරණ ව්‍යාපෘතිය වැඩ අවසන් කිරීමේ කාලය ලබන දෙසැම්බර් 31 වෙනිදා දක්වා දීර්ඝ කිරීමට ද මෙහිදී තීරණය කෙරිණි.

2022 වසරේදී ව්‍යාපෘති කළමනාකරණ ඒකකය වසා දමා ඉතිරි කටයුතු ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මගින් සිදු කිරීමට අමාත්‍ය මණ්ඩලය මීට පෙර තීරණය කර ඇත.

විවිධ ගැටලු හේතුවෙන් දැනට අත්ටුවා ඇති අවසන් අදියරේ පවතින මෙම ව්‍යාපෘතිය අඛණ්ඩව පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ජලසම්පාදන මණ්ඩලය විසින් කමිටුවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මෙහිදී අවධාරණය කෙරිණි.

ඒ අනුව ව්‍යාපෘතිය අවසන් කිරීමට මාසයකට රුපියල් මිලියන සියය බැගින් මාස හතක් ලබාදීමට කටයුතු කරනු ඇති අතර එය අමාත්‍යාංශ ප්‍රතිපාදන වැය ශීර්ෂය අනුව ලබාදීමට පියවර ගැනේ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය