නව ග්‍රාම නිලධාරින් දෙදහසකට පත්වීම් ප්‍රදානය කෙරේ...

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක ග්‍රාම නිලධාරි 3 වන ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වූ විභාගයෙන් සහ සම්මුඛ පරීක්ෂණයේ ප්‍රතිඵල මත සුදුසුකම් ලැබූ අයදුම්කරුවන් දෙදහසකට නව පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ආරාධනයෙන් අද (2024.05.08) අරලියගහ මන්දිරයේදී සිදුකෙරිණි.

මෙහිදී අදහස් දැක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා -

අද ඔබට විශේෂ දිනයක්. මේ සේවයට තේරිලා, පුහුණුවීම් අවසන් කරලා, රජයේ සේවයට පත්වීම ලැබෙනවා. අද ගෙදර යන්නේ හරි ප්‍රීතියෙන්. මම ඔබ සැමට සුභ ප්‍රාර්ථනා කරනවා. රාජ්‍ය සේවයේ සාර්ථක වැඩ කොටසක් ඉටු කරන්න ඔබට ලැබෙන්න කියලා. අපි බලන්නේ ඔබේ අනාගතයත්, ජනතාවගේ අනාගතයත් හොඳ තත්ත්වයකට ගෙන එන්නයි. එහි විශාල වගකීමක් ඔබට තිබෙනවා. රටේ මූළික පරිපාලන අංශය වන ග්‍රාම නිලධාරී කොට්ඨාශයට වග කියන්නේ ඔබයි.

ඒ මූළික කටයුතු ඉටු කරන්න. ඒ සඳහා තවත් නිලධාරීන් ඉන්නවා. රජය වෙනුවෙන් තොරතුරු එකතු කරලා මේ පරිපාලන වැඩ කටයුතු ගෙන යන්නේ ඔබ සියලු දෙනයි. ඒ ගැන මම අලුතෙන් කියන්න දෙයක් නැහැ. ඔබට තිබෙන්නේ පරිපාලන කටයුතු විතරක් නෙවෙයි. ඒ ගැන ඔබ මතක තබා ගත යුතුයි. මේ රටේ ආර්ථිකය කඩා වැටුණු අවස්ථාවේදී අපිට මේ රටේ ආර්ථිකය සීඝ්‍රයෙන් දියුණු කරන්න පුළුවන් වුණා. තවම අවසන් කරලා නැහැ. අයි.එම්.එෆ් සංවිධානය සමග ගිවිසුමකට ඇවිල්ලා තියෙන්නේ. තවත් කොන්දේසි ගණනාවක් ක්‍රියාත්මක කරන්නට තියෙනවා. මූලික වශයෙන් 2022 ආණ්ඩුව භාර ගැනීමෙන් පසුව මමත් අගමැතිතුමා සහ සියලු දෙනා රටේ සංවර්ධනය ඇතිකළා. සංවර්ධනය පටන් ගත්තේ නගරයෙන් නෙවෙයි. ගමෙන්. අපේ දිසා ලේකම්වරු සියලු දෙනා අපට සහයෝගය දුන්නා. 2023 සාර්ථක යල කන්නයක් ක්‍රියාත්මක කරන්නට පුළුවන් වුණා. ආපහු සාර්ථක මහ කන්නයක් ආවා. ඒ නිෂ්පාදනයෙන් තමා අපිට මේ තත්ත්වයට එන්න අවස්ථාව ලැබුණේ.ඒ වගේම අපට තවදුර යන්න තිබෙනවා. මේ වැඩ කටයුතු සාර්ථක වුණ නිසා, අගමැතිතුමාගේ ඉල්ලීම අනුව ග්‍රාම නිලධාරීන් දෙදහක් බඳවා ගන්න මුදල් අපේ භාණ්ඩාකාරයට ලබා දෙන්න පුළුවන් වුණා.

දැන් ඔබ සියලු දෙනාම ඒ සේවයට ඇතුල් වෙලා තියෙන්නේ. පරිපාලන වැඩ කටයුතු පමණක් නෙවෙයි , ආර්ථිකය දියුණු කරන්න සංවර්ධන වැඩකටයුතු කිහිපයක් තිබෙනවා. මේකෙන් විශේෂයෙන්ම ප්‍රාදේශීය ලේකම්වරු, ග්‍රාම නිලධාරීන් එකතුවන කාරණා හතරක් ගැන මම කියන්න කැමතියි. පළමුවෙන්ම අපි අලුතෙන් අස්වැසුම ක්‍රමය ඉදිරිපත් කළා. සමෘද්ධිය තිබුණා. ඊට පස්සේ අස්වැසුම ගෙනාවා. මේ රටේ ජනතාව දුක් විඳලා තියෙන නිසා ලෝක බැංකුව සමඟ සාකච්ඡා කරලා සමෘද්ධිය වගේ තුන් ගුණයක් දීමනා වැඩි කරන්න අවස්ථාව ලැබුණා.

මේ ක්‍රමය අපි ක්‍රියාත්මක කරගෙන යනවා මාර්ග ගත ක්‍රමය මේ අවුරුද්ද අවසාන වන විට සාර්ථකව ක්‍රියාත්මක කරන්නට පුළුවන්. ලබන වසරේ මේ වැඩ කටයුතු තවත් පහසු වෙනවා. ගමට දෙන සහන ප්‍රමාණය වැඩි වුණා. අනිත් අතින් සහන දෙන සංඛ්‍යාව වැඩි කරන්න කියලා අපි එකඟ වෙලා තිබෙනවා. අන්න ඒක ප්‍රධාන කාරණයක්. අස්වැසුම ප්‍රතිලාභීන්ට ගමේ ජීවත් වෙන්න මීට වැඩිය හොඳ ආදායමක් ලැබෙනවා. ඒ ආදායමත් ගමේම වියදම් වෙනවා. ඒක හොඳ ප්‍රමුඛ කාරණයක්. අඩු ආදායම්ලාභීන්ට මාස දෙකක් හාල් කිලෝ 10 ගානෙ දෙනවා. ඒකෙන් කාරණා දෙකක් සිද්ධ වෙනවා. එකක් මේ අයට තවත් සහනයක් ලැබෙනවා. අවුරුදු කාලයේ. දෙවෙනි එක තිබෙන්නේ මේ සහල් මිලදීල ගන්න කියන්නේ පොඩි මෝල් වලින්. පොඩි මෝල් වලටත් යම්කිසි සහනයක් ලැබෙනවා.

පුළුවන් නම් වෙළඳපළේ මිලට වඩා ටිකක් වැඩි කරලා හරි අරගන්න කියලා මම කිව්වා. මේ මුදල් සියල්ලම එන්නේ ගම ඇතුලට. නගරයට නෙමෙයි. ගම දියුණු කරන්නයි මේ වැඩ කටයුතු කරන්නේ. තුන්වෙනි එක සිදුවන්නේ අයිතිය දෙන එක. සමහර ප්‍රදේශවල ඔබ දන්නවා ඇති, ඉඩම් වලට සින්නක්කර අයිතිය නැහැ. තිබෙන්නේ ඉඩම් සංවර්ධන පනත යටතේ බලපත්‍ර විතරයි. පරම්පරා දෙකක්, තුනක්, හතරක් යනකන් අයිතියක් නැහැ. ගොවිතැන් කරන්න පුළුවන්, වෙන වගා වැඩ කටයුතු කරන්න පුළුවන්, තමන් ජීවත් වන නිවසක් වෙන්න පුළුවන්, තමන්ට ඒ අයිතිය නැහැ. අද අපි බලන්නේ ඒ සියලු දෙනාටම සින්නක්කර ඔප්පු ලබා දෙන්නයි. අයිතිය ලබා දෙන්නයි. අයිතිය ලැබුණාම විශාල වෙනසක් සිදුවෙනවා. එපමණක් නොවෙයි තමන්ගෙම ඉඩම දියුණු කරන්න බැංකුවට ගිහින් හොඳ ණයක් ලබාගන්න පුළුවන්. මේ සියලු මුදල් ආපහු එන්නේ ගමට. පිට යන්නේ නැහැ. අයිතිය තියෙන අය තමන්ගේ ඉඩම දියුණු කරනවා. ගම් දියුණු කරනවා.

ගමට මුදල් යනවා. බැංකු ක්‍රමය ශක්තිමත් වෙනවා. අන්න ඒ වැඩ කටයුත්ත අපි කරගෙන යනවා. හතරවෙනි කාරණය වන්නේ කෘෂිකර්ම නවීකරණ වැඩසටහන. අපිට අපේ කෘෂි නිෂ්පාදනය ගැන සෑහීමට පත්වෙන්න බැහැ. වී වගාව වෙන්න පුළුවන්, තේ වගාව වෙන්න පුළුවන්, එළවළු වගාව වෙන්න පුළුවන්, ලෝකය එක්ක අපට තරඟ කරන්න බැහැ. අපේ මිල තරගකාරී නැහැ. දේශීය වෙළඳපලට පමණක් අපි නිෂ්පාදනය කරන්නේ. ඒක මදි. ලංකාවේ සිංහල රජ කාලේ රජරට කෘෂිකර්මය තුලින් අපනයනය කලා. ධාන්‍ය වර්ග තෙත් කළාපයේ දඹදෙණියේ ඉඳන් මහනුවර වෙනකන් කුළුබඩු කුරුදු අපි අපනයනය කළා. සුද්දගෙ කාලේ තේ රබර් පොල් අපනයනය කළා නිදහසෙන් පස්සෙත් අපිට ඒක කරන්න තිබුණා. අපේ ආර්ථිකය දියුණු කරන්නට නම් අපේ කෘෂිකර්මය දියුණු කළ යුතුයි. ඒ නිසා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමෙන් මේ වැඩ කටයුතු ආරම්භ කරන්නට ගොවි ජන සේවා මධ්‍යස්ථාන හරහා නවීකරණ කමිටු පත් කරලා ගොවීන් එකතු කරගෙන ආරම්භ කරලා තියෙනවා. දැනට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 25කට මිලියන 25 ගානේ ලබා දීලා තිබෙනවා. ලබන වසර වෙනකොට 25 සීය, එකසිය පනහ, කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඔබ සියලු දෙනාම ඊට සහභාගී විය යුතුයි. විශේෂයෙන්ම ගමේ කෘෂිකර්මය දියුණු කරන්නේ නැතුව ගමේ දුප්පත්කම නැති කරන්න බැහැ. කෘෂිකර්මය සාර්ථක නම් ගමත් සාර්ථක වෙනවා.

කෘෂි නවීකරණයෙන් තමයි ඉදිරියට යන්න තියෙන්නේ. අප දකිනවා සමහර ගම් විශේෂයෙන්ම දකුණේ සංචාරක ව්‍යාපාරය නිසා ඉතා දියුණුවට පත් වෙනවා. ඊළඟ දශකයට වැඩ කරන්න. මේ හැම එකේම අරමුණ වන්නේ ගමේ ආර්ථිකය නගා සිටුවීමයි. ගම දියුණු කිරීමයි. අප මෙතෙක් කල් යටිතල පහසුකම් ලබා දුන්නා. දැන් ආර්ථිකය දියුණු කරනවා. ග්‍රාම සේවා නිලධාරීන් ඒ කාලේ යටිතල පහසුකම ක්‍රියාත්මක කරන්න සම්බන්ධ වුණා. ඒ ගැන වාර්ථා කළා. අද ඔබ සියලු දෙනාටම මේ කාර්යය ට සම්බන්ධ වෙන්න තියෙනවා. එහි වෙනස තමන් ඉන්න ගමේ තමන්ගේ ප්‍රදේශයේ ආර්ථිකය දියුණු වෙනවා. බහුතරයක් ඇවිල්ලා තියෙන්නේ ග්‍රාමීය ප්‍රදේශවලින්. නගර වලින් නෙවෙයි. ඒ ග්‍රාමීය ප්‍රදේශය අපි දියුණු කරන්න ඕනි. දුප්පත්කම නැති කරන්න ඕනේ. විශේෂයෙන්ම ගම්බද මට්ටමේ අධ්‍යාපනය වගේම සෞඛ්‍ය සේවය දියුණු කරන්න ඕනේ. මේ එහි ආරම්භයයි.

අපේ උරුමය වැඩසටහන යටතේ ඔප්පු ලබා දෙන්න තියෙනවා. මේ ඔප්පු ලක්ෂ අටක් තියෙනවා. සමහර ඒවා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ. සමහර ඒවා ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ. සමහර ඒවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල හිරවෙලා තිබෙනවා. අගමැතිතුමා යෝජනා කරලා ඉතා ඉක්මනින් ජංගම සේවයක් ඇති කරනවා. තමන්ගේ දිස්ත්‍රික්කයේ තියෙන ඔප්පු ටික හඳුනා ගන්න. කොතනද ඔප්පු හිරවෙලා තියෙන්නේ, කොතනද තියෙන්නේ කියලා ලබන සතියේ පස්සේ වාර්තාවක් ලබාගන්න. අපි මේ ඔප්පු සියල්ලම ඉදිරි මාස දෙක තුළදී ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.

එහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා -

රාජ්‍ය සේවය උතුම් සේවාවක්. රාජ්‍යයේ පැවැත්ම, දියුණුව හා සංවර්ධනය ආරක්‍ෂා කරගෙන ඉදිරියට යාමට රාජ්‍ය සේවකයන්ගේ කැපවීම, සුවිශේෂ වගකීමක් ලෙස සලකනවා. අන් සෑම සේවාවකටම වඩා රාජ්‍ය සේවය වැදගත්. අතීතයේ සිට ග්‍රාම නිලධාරි සේවාව උතුම් සේවාවක් ලෙස සැළකෙනවා. අද ග්‍රාම නිලධාරී වගකීම භාරගන්නා ඔබ සැමදෙනාම මේ බව ගැඹුරින් තේරුම් ගෙන කටයුතු කරනු ඇතැයි අපි විශ්වාස කරනවා. ක්ෂේත්‍රය තුළ වගකීම් ඉෂ්ඨ කරමින් සිට පසුව අමාත්‍යාංශ ලේකම්වරු, අතිරේක ලේකම්වරු, දිසාපතිවරු ලෙස විසල් සේවාවක් ඉටුකළ ග්‍රාම නිලධාරීන් ගැන අපේ ඉතිහාස පොතේ ලියැවී තිබෙනවා.

මහා ගංවතුර වැනි අනපේක්ෂිත ලෙස ඇතිවෙන ස්වභාවික විපර්යාස වලදී පළමුවෙන් ජනතාව අතරට යන්නේ ඔබයි. එවැනි සිදුවිම්වලදී ග්‍රාම නිලධාරීන් මූළිකත්වය ගත්තා. එලෙස අවදියෙන් සිටකැපවීමෙන් කටයුතු කළ නිළධාරීන් අදත් සිටිනවා. එවැනි බලතල සමුදායක් ඔබට පැවරෙනවා. රාජකාරී ඉෂ්ඨ කිරීමේදී ඔබට තිබෙන වගකීම් සමුදාය ගැන ඉතාම ගැඹුරෙන් සිතන්න. රාජකාරියේ පරමාර්ථයන් හා අරමුණු ඔබ ඉෂ්ඨ කරයි කියන විශ්වාසය ඇතිවයි රජය අද මේ වගකිම් ඔබට පවරන්නේ.

2021 ග්‍රාම සේවා පත්වීම් 2000ක් වෙනුවෙන් ඔබ සැම ඉල්ලුම්පත් ඉදිරිපත් කළා. එතැන් සිට දීර්ඝ කාලයක් ගත වුණත් ජනාධිපතිතුමාගේ ආශිර්වාදය හා අනුමැතියෙන් මුදල් අමාත්‍යංශයෙන් මූල්‍ය ප්‍රතිපාදන අනුමත කරගෙන, විභාගය පවත්වලා, ඒ ප්‍රතිඵල මත පුරප්පාඩු සහිත ග්‍රාම නිලධාරී කොට්ඨාශවලට පත්වීම් ලබාදීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට හැකි වුණා. විභාගයෙන් ලකුණු ලබා ගත්, සම්මුඛ පරීක්ෂණවලින් සමත් වූ, සුදුසුකම් සහිත අයටයයි පත්වීම් ලබා දි තිබෙන්නේ.

කොවිඩ් වසංගතයෙන් ලෝකයම පිඩා වින්දා. එය කිසිවෙක් හිතපු තත්ත්වයක් නෙවෙයි. එවැනි සිදුවීමකට මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් විශාල අත්දැකීමක් නොතිබුණද ,ගමින් ගමට යමින් කොවිඩ් පාලනයට කැපවී කටයුතු කරමින් අවධානමට මුහුණ දුන් වෛද්‍යවරු හා අනෙකුත් නිලධාරීන් අතරට ග්‍රාම නිලධාරීන් ද එක්වුණා. ඔවුන් හැකි උපරිමයෙන් මහජන ජීවිත ආරක්ෂා කරන්නට පිරිස එකතු කරගනිමින් කටයුතු කළා.

ගමක් දෙකක් එකතු කරමින් හා සමහර ගම් කොටස් දෙකක් බවට පත්වෙමින් ග්‍රාම ග්‍රාමසේවා කොට්ඨාශ සැකසෙනවා. මේ ග්‍රාම සේවා කොට්ඨාශ වල මහජන සේවාවවන් පවත්වා ගෙන යාමත්, ජනතාව ආරක්ෂා කර ගැනීමත්, ජනතාවගේ දියුණුව සදහා වූ ක්‍රියාමාර්ග ඇති කිරීම සඳහාත්, ජාතික ප්‍රතිපත්තිය හා රජයේ සංවර්ධන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේත් ප්‍රධානතම වගකීම් ග්‍රාම නිලධාරීන්ට පැවරෙනවා. සෑම ගමක්ම, ග්‍රාම සේවා කොට්ඨාශයක්ම යම්කිසි සංවර්ධනය වැඩපිළිවෙලකට යොමු කර හැකි බව ජනාධිපතිතුමා අයවැයෙන් ප්‍රකාශයට පත් කළා. සෑම ග්‍රාම සේවා කොට්ඨාශයක්ම සෑම දෙයකින්ම සම්පූර්ණ වෙන්නේ නැහැ. නමුත් සෑම ග්‍රාමසේව කොට්ඨාශයකම යම්කිසි නිෂ්පාදන අවශ්‍යතාවයක් සපුරාලන ප්‍රෙදේශයක් බවට පත් කළ හැකි බව අපි මතක තබාගත යුතුයි. අපි අතිරික්ත ආහාර නිෂ්පාදනයක් සහිත බෝග වගා කළේ එවන් ක්‍රියාදාමයකට මග පෙන්වමින්. ඒ නිසා අපට පුළුවන් කියන විශ්වාසයක් ඇතිකර ගන්න.

ඔබ නිතරම ගනුදෙනු කරන්නේ තොරතුරු සමගයි. ප්‍රාදේශීය ලේකම්තුමිය මඟින් ප්‍රධාන රාජ්‍ය සේවාවට අවශ්‍ය සියලු තොරතුරු සපයන්නේ ඔබ. ඔබ එවන තොරතුරු සෑම අවස්ථාවක නිවැරදි විය යුතුයි. ප්‍රදේශයේ කොපමණ නිවාස ප්‍රමාණයක් තිබෙනවාද,ගොවිතැන් කළ හැකි බිම් ප්‍රමාණය කොතරම්ද, වැඩිහිටියන් ප්‍රමාණය කොපමණද, වැනි දේ පිළීබද නිවැරදි තොරතුරු සැපයීමට ඔබට හැකිවිය යුතුයි. මේ තොරතුරු පිළිබද ඉලක්කගත වැඩපිළීවෙලකට අමාත්‍යංශය යොමුව සිටින අවස්ථාවකයි ඔබ පත්වීම් ලබන්නේ.

රටේ සංවර්ධනය අඩපනකොට අරාජික තත්වයක් ඇති වූ අවස්ථාවක ජනාධිපතිතුමා රට භාරගත්තා වගේම අපේ දිසාපතිවරු ඒ අභියෝගය ක්‍රියාත්මක කරන්න ජනාධිපතිතුමා සමග කටයුතු. ප්‍රාදේශීය ලේකම්වරු හා ග්‍රාම සේවා නිලධාරින් එක්වෙලා නිශ්චිත නිලධාරියෙක් නොමැති කොට්ඨාශ පවා ආවරණය කරමින් ඒ රාජකාරිය සාර්ථක කර ගන්න කටයුතු කළා. අද අපේ රට වර්ධනය වන රටක් බවට පත් කරන්න ජනාධිපතිතුමාට හැකිවුණා. ඒ නිසයි ආර්ථික වශයෙන්,දේශපාලන වශයෙන් ස්ථාවර බවක් අද භුක්ති විඳින්නේ.එවැනි අනාගත ලංකාවකට පිවිසිය හැකි විශ්වාසය ඇති කරමින් ඊට පරිසරය සකස් කරමින් මග පෙන්වන ග්‍රාමීය නියෝජිතයන් ඔබයි. ඔබ රාජ්‍ය සේවය ඔබට හිමි කර්තව්‍ය වගකීමෙන් ඉටුකරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

අපේ මහජන නියෝජිතයන්, මන්ත්‍රීවරුන්, සංවර්ධන කමිටු සහභාපතිවරුන් කියනවා සෑම ග්‍රාම නිලධාරීවරයෙකුටම කාර්යාලයක් නැහැ කියලා. ඒ අවශ්‍යතාවය වෙනුවෙන් වූ වැඩසටහනක් ඉලක්කගත සැලැස්මකට අනුව ක්‍රියාත්මක කරනවා.

තාක්ෂණය හරහා කඩිනමින් කේන්ද්‍ර මූලස්ථාන සමග සම්බන්ධ වූ, තොරතුරු පරිවර්තනය කර ගත හැකි වැඩසටහනකට අපි යොමු විය යුතුයි. ඔබ සැමට ඒ ඩිජිටල් තාක්ෂණ දැනුම ලබාදීම, නිර්දේශ කොට, ඊට අදාල පුහුණු පාඨමාලාවන් දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට ආරම්භ කර තියෙනවා. ඔබ එසේ කටයුතු කළ හැකි පුරවැසියෙක් බවට පත් කිරීමටත්, පුරවැසියන්ගේ නායකයෙක් බවට පත් කිරීමටත්, සංවර්ධනය නියමුවෙක් බවට පත්කිරීමටත්, අදට වඩා දියුණු ග්‍රාම නිලධාරී සේවාවක් ඇති කිරීමටත් ඔබට හැකි වේවි. මේ පත්වීම් ප්‍රධානයේදී කිසිම අවස්ථාවක, කිසිම ලෙසකින් පක්ෂපාතීභාවයෙන් කටයුතු කරලා නැහැ. විභාග කොමසාරිස්රයා විසින් පවත්වපු විභාගයේ ප්‍රතිඵල අනුව කටයුතු කරන්න අපට පුළුවන් වුණා. එය ඔබ කෙරෙහි තබන විශ්වාසයයි. වගකීමෙන් ඔබේ රාජකාරිය ඉටු කරන්න. රාජ්‍ය පරිපාලනයේ ගමේ පහළම ඉන්න සාමාජිකයා ඔබයි.

එහිදී අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා -

ඉදිරි පෙළේ ඉන්න ජනාධිපතිතුමන්, අග්‍රාමාත්‍යතුන්, කැබිනට් මණ්ඩලය සහ ආණ්ඩු පක්ෂයත් නොවේ නම් අද ඔබට පත්වීම් ලැබෙන්නේ නැහැ. ඒක නොකිව්වොත් මම කුහක මිනිහෙක් වෙනවා. ජනාධිපතිතුමා රට බාරගනිද්දි රාජ්‍ය සේවකයින්ට පඩි දෙන්න සල්ලි තිබුණේ නැහැ. රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විදිහට රාජ්‍ය සේවකයින්ට එක දවසේ පඩි දෙන්න පුළුවන්කමක් තිබුනෙත් නැහැ. රටේ ස්ථාවර භාවය ඇති කරන්න රාජ්‍ය නිලධාරීන් යම් පැත්තකින් අපට දුන්නු සහයෝගයට ස්තුති කරන්න මේක අවස්ථාවක් කර ගන්නවා.

රාජ්‍ය සේවය කඩා වට්ටන්නට යම් පිරිසක් එ සේවාවන් ඇතුලේ ඉඳලා එදත් අදත් මතුවටත් කැරලිකාරී තත්ත්වයන් සහ සමාජයේ වෙනත් විකෘති කිරීම් වලට ලක් වෙමින් සිටිනවා. ඒ අය ගැනත් අපි සිහිපත් කරන්නට ඕනේ. එවැනි විකෘතිකාරී පක්ෂවල නායකයෝ ගමේ අධිකරණ බලය තමන්ගේ පාක්ෂිකයන්ට දෙන්න යද්දී අපේ ජනාධිපතිතුමයි අගමැතිතුමයි ගමේ නිලධාරියෙක් විදියට ඔබට බලය දෙන්න අද දවස යොදාගෙන තියෙනවා. ඒ විකෘති මානසික මට්ටමෙන් ඔබ, ගම මුදාගන්න නම් ඔබට ලැබෙන නෛතික බලය හරියට යොදාගන්න. අලුතින් දෙදහක් බැඳෙන එක ගැන අපේ දිසාපතිවරු ගොඩක් කැමතියි.

අපේ ග්‍රාම නිලධාරී වෘත්තීය සංගම්වලටත්, ජේෂ්ඨ ග්‍රාම නිලධාරී මහත්වරුන්ටත් මතක් කරනවා. මේ දවස් අපි ආදර්ශමත් විය යුතුයි. තරුණ නවක ග්‍රාම නිලධාරීන් නිලධාරීතුමියන්ට අපි ආදර්ශයක් ලබාදිය යුතුයි. ඔවුන් රාජ්‍ය පරිපාලනයට එක්කාසු කරගත යුතුයි.මේ ක්‍රියාදාමයේ ප්‍රධාන වගකීම් හුඟක් අයට අමතක වෙලා තියෙනවා. රාජ්‍ය පරිපාලනයේ ප්‍රධාන වගකීම විධායකයේ තීන්දු තීරණ රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමයි.

විධායකට ව්‍යවස්ථාදායකට විරුද්ධව කැරලි ගැසීම නෙවෙයි. රජය අනුමත කරන රාජ්‍ය පරිප්‍රතිපත්ති බිමට ගෙනියලා ක්‍රියාවට නැංවීම තමයි රාජ්‍ය පරිපාලනයේ ප්‍රධාන වගකීම. රාජ්‍ය පරිපාලනය ගැන නිශ්චිත අර්ථකථනයක් තාම නැහැ. ඒ ගැන ඔබ හොයන්න. මේ රට මව්බිම වැටුණු අවස්ථාවේ කාටවත් බාරගන්න බැරි වුණා. එදා දාලා දුවපු වෙලාවෙ මේ ඉස්සරහ ඉන්න දෙපල එකතුවෙලා හදපු ආණ්ඩුව ගොඩනඟපු ක්‍රමවේදය කියවල බලන්න. ඒ ක්‍රමවේදය තුළ රටේ මිනිස්සුන්ට ජීවත් වෙන්න හොඳට ජීවත් වෙන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. අපහසුතා මැද්දෙ වුනත් රාජ්‍ය පරිපාලනය ශක්තිමත්ව ගෙනයන්න පුළුවන්කම ලැබුණා. මේක විශිෂ්ට ජයග්‍රහණයක්.

මැති ඇමැතිවරුන්, ආණ්ඩුකාරවරුන්, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් ප්‍රදීප් යසරත්න, දිස්ත්‍රික් ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය