පීපල්ස් ලීසිං සහ ෆයිනෑන්ස් සමාගම පිරිනැමූ පී.සී.ආර් යන්ත්‍ර දෙකක් ඇතුළු රු.මිලියන 25ක සෞඛ්‍ය උපකරණ අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් රෝහල්වලට

කොවිඩ් අභියෝග ජයගැනීමේ මෙහෙයුමට දායකවීම සඳහා මහජන බැංකුවට අනුබද්ධ පීපල්ස් ලීසිං සහ ෆයිනෑන්ස් සමාගම් සමූහය විසින් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පිරිනැමූ පී.සී.ආර් යන්ත්‍ර 2ක් ඇතුළු රුපියල් මිලියන 25ක් වටිනා සෞඛ්‍ය උපකරණ තොගය අද (16) දින අරලියගහ මන්දිරයේ දී රෝහල් කිහිපයකට ප්‍රදානය කෙරිණි .
පීපල්ස් ලීසිං සහ ෆයිනෑන්ස් සමාගම් සමූහය 2021 වර්ෂයේ පළමු කාර්තුවේ ලබාගත් ලාභාංශයෙන් මුදලක් මෙම සද් කාර්යය වෙනුවෙන් වෙන්කර තිබිණි.
සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශය අනුව අදාළ උපකරණ අවශ්‍ය රෝහල් කිහිපයක් සඳහා මෙලෙස පී.සී.ආර් යන්ත්‍ර සහ සෞඛ්‍ය උපකරණ බෙදා දීම අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, පීපල්ස් ලීසිං සහ ෆයිනෑන්ස් සමාගම් සමූහයේ සභාපති සුජීව රාජපක්ෂ, ප්‍රධාන විධායක නිලධාරී ශාමින්ද මර්සිලින් මහත්වරු සහ රෝහල් කිහිපයක වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.