රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ධුරයට පත් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජනිතා ඒ ලියනගේ මහත්මිය අග්‍රාමාත්‍යතුමා බැහැදකී

රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ධුරයට පත් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජනිතා ඒ ලියනගේ මහත්මිය අද (28) දින අරලියගහ මන්දිරයේ දී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වූවාය.
ඒ රුසියාවේ තානාපති සේවයට නික්ම යාමට පෙර අග්‍රාමාත්‍යතුමා හමුවී සේවය සැළ කිරීම වෙනුවෙනි.
ශ්‍රී ලංකා - රුසියානු ඓතිහාසික මිත්‍රත්වය සිහිපත් කළ අග්‍රාමාත්‍යතුමා, දෙරට අතර ද්වි පාර්ශවීය සබඳතා තව තවත් වර්ධනය කිරීම උදෙසා කැපවන්නැයි ජනිතා ඒ ලියනගේ මහත්මියට සුබ පැතුම් එක්කරමින් කියා සිටියේය.
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජනිතා ඒ ලියනගේ මහත්මිය මෙම ධුරයට පත්වීමට පෙර ගම්පහ වික්‍රමාරච්චි දේශීය විශ්වවිද්‍යාලයේ සමාරම්භක උප කුලපතිනිය ලෙස කටයුතු කළාය.
ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යාවක වන ජනිතා ඒ ලියනගේ මහත්මිය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ උප සභාපතිනිය ලෙස ද කලක් කටයුතු කළාය.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහත්වරු එක්ව සිටියහ.