ශෝක පණිවුඩය

ප්‍රංශයේ ජේතවන විහාරාධිපති, මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු විහාර පාර්ශවයේ, ප්‍රංශයේ ප්‍රධනා අධිකරණ සංඝනායක, ප්‍රවචන කීර්ති ශ්‍රී අග්ගාරාමාභිධාන, ත්‍රිපිටක ධර්ම විශාරද, රෝහණ කීර්ති ශ්‍රී ,රාජකීය පණ්ඩිත, ආචාර්ය, ගෞරවාර්හ මුරුංගස්යායේ ඤාණීස්සර නායක ස්වාමීන් වහන්සේ අපවත් වූ පුවත ඇසීමෙන් මම බලවත් සේ සංවේගයට පත්විමි.
කුඩා කල සිටම සම්බුදු සසුනට තිබු දැඩි ඇල්ම නිසා උතුම් බුදුපුතෙකු ලෙස වසර 66 ක් සසුන් කෙත එළිය කළ නායක ස්වාමීන් වහන්සේ සැමගේ සිත් දිනාගත් මහා ථෙරනමකි.
භික්ෂුවක ලෙස අධ්‍යාපනයට කැපවූ නායක ස්වාමීන් වහන්සේ, 1968 වර්ෂයේ දී වසරකට එක් ශිෂ්‍යයෙකුට පමණක් හිමිවන, ශ්‍යාම රාජ ත්‍යාගය දිනාගැනීමට ද දක්ෂ වූහ.
පසුව පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් තම උසස් අධ්‍යපනය ලබා දිවයිනේ විවිධ විද්‍යාලවල ආචාර්යවරයෙකු වශයෙන් ද කටයුතු කළහ.
කොරෝනා වසංගතයත් සමග වසර කිහිපයක් ලංකාවට නොවැඩියත්, ඊට පෙර සෑම වර්ෂයකම මව්බිමට වැඩම කළ නායක ස්වාමීන් වහන්සේ, වෛද්‍ය විද්‍යාල ශිෂ්‍යයන්ට ශිෂ්‍යත්ව ලබාදීම, දුගි ජනතාවට නිවාස ඉදිකරදීම, ඇස් කණ්ණාඩි ලබාදීම වැනි සමාජ සත්කාර්යන් රැසක් ඉටුකළ භික්ෂුවකි.
විදේශ ධර්මධූත සේවය නිසිලෙස ඉටුකළ නායක ස්වාමීන් වහන්සේ, විදේශවල ජීවත්වන භික්ෂූන් වහන්සේලාගේ හා විදේශ ජනතාවගේ ගෞරවාදරයට නොමදව පාත්‍ර වූහ.
මා සමග දැඩි කළ්‍යාණ මිත්‍රත්වයෙන් කටයුතු කළ නායක ස්වාමීන් වහන්සේ, ලංකාවට වැඩම වූ සෑම අවස්ථාවකදීම මා හමු වී සුවදුක් විචාල අතර, ඒ සෑම විටම ලබාදුන් අවවාද අනුශාසනා උන්වහන්සේට ගෞරවයක් පිණිස, මෙම සංවේග ජනක අවස්ථාවේ දී සිහිපත් කිරීමට කැමැත්තෙමි.
නායක ස්වාමීන් වහන්සේගේ අපවත්වීමෙන් ලද හිඩැස කලකට පිරිමැසිය නොහැකිය.
පුරා වසර 76 ක් ආයුවළදා අපවත්වී වාදාළ, ගෞරවාර්හ මුරුංගස්යායේ ඤාණීස්සර නායක ස්වාමීන් වහන්සේට, උතුම් නිවන්සුව අත්වේවා’ යි ප්‍රාර්ථනා කරන අතර, උන්වහන්සේගේ සහෝදර හා ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාටත්, විදේශ දායක පිංවත් සැමටත්, සියලු ඥාතීන්ටත් මාගේ බලවත් සංවේගය පිරිනමමි.

Download Release