පාලටුව ඛෙත්තාරාම පුරාණ විහාරයේ ප්‍රතිසංස්කරණය කළ බිතුසිතුවම් සහිත බුදු මැදුර විවෘත වෙයි

මාතර පාලටුව ඛෙත්තාරාම පුරාණ විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු නිම කරන ලද බිතුසිතුවම් සහිත බුදු මැදුර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) පස්වරුවේ විවෘත විය.
නව බිතුසිතුවම් සහිත බුදු මැදුර බැතිමතුන් වෙනුවෙන් විවෘත කරන අවස්ථාවට අග්‍රාමාත්‍යතුමා අරලියගහ මන්දිරයේ සිට සූම් ඔස්සේ සම්බන්ධ විය.
අභාවප්‍රාප්ත ලනිල් ගල්බඩ පුතුට පිං පිණිස 10වැනි වර්ෂ පූර්ණය නිමිත්තෙන් මාතර ගරාජ් අධිපති ජී.කේ ජිනදාස මහතා සහ චන්ද්‍රා පියසීලි මහත්මිය සිය ධන පරිත්‍යාගයෙන් මෙම බුදු මැදුරේ නව ප්‍රතිසංස්කරණ කටයුතු නිම කර ඇත.
හුණුපිටිය ගංගාරාම විහාරාධිපති කොළඹ නව කෝරලයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ගල්බොඩ සිරි ඤාණීස්සර . නාහිමියන්ගේ අනුශාසනා පරිදි ඛෙත්තාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති ගිරුවාපත්තුව ඇතුළු මාතර හම්බන්තොට දෙපළාතේ උප ප්‍රධාන සංඝ නායක පූජ්‍ය පාලටුවේ ජිනරතන නාහිමියන්ගේ ආරාධනාව පරිදි විහාරස්ථ භික්ෂූන් වහන්සේලා සහ දායක සභාවේ ද දායකත්වය ඇතිව මෙම උතුම් සද් කාර්යය ඉටු කර තිබේ.
මාතර හම්බන්තොට දෙපළාතේ උප ප්‍රධාන සංඝ නායක පූජ්‍ය පාලටුවේ ජිනරතන නාහිමි, හුණුපිටිය ගංගාරාම විහාරාධිකාරී අචාර්ය කිරින්දේ අස්සජි හිමි ඇතුළු මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කළහ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ සූම් ඔස්සේ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා ද මේ සඳහා එක්ව සිටියේය.