අයහපත් කාලගුණ තත්ත්වයෙන් ආපදාවට පත් ජනතාවට කඩිනම් සහන සලසන්නැයි අග්‍රාමාත්‍යතුමාගෙන් උපදෙස්

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට පත්ව සිටින සියලුම ජනතාව වෙනුවෙන් කඩිනම් සහන සලසන්නැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (04) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී උපදෙස් දුන්නේය.
ආපදා කළමනාකරණ විෂය භාර රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාට ඒ බව දැනුම් දුන් අග්‍රාමාත්‍යතුමා, විපතට පත්වූවන් මුදා ගැනීම හා පීඩාවට පත්වූවන්ට සහන සැලසීම ඒ ඒ දිස්ත්‍රික් ලේකම්වරුන් මාර්ගයෙන් කඩිනමින් ක්‍රියාත්මක කරන්නැයි පැවසීය.
ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කර දෙන්නැයි අග්‍රාමාත්‍යතුමා මෙහි දී මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර් ආටිගල මහතාට උපදෙස් දුන්නේය.
දිවයිනේ නිරත දිග ප්‍රදේශයේ ස්ථාන රැසකට මහ වැසි ඇද වැටීමත් සමඟ ස්ථාන රැසක විවිධ ආපදා තත්ත්වයන් උද්ගත වී තිබේ. වැසි ජලයෙන් පහත්බිම් යට වීම, ගංවතුර හා නායයෑමේ අවදානම ඒ අතර ප්‍රධාන වේ.
බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇතිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
මේ නිසා ඇතිවිය හැකි ආපදා තත්ත්වයන්ට මුහුණ දීම සඳහා ජනතාව දැනුවත් කරන ලෙස ද අග්‍රාමාත්‍යතුමා අදාළ නිලධාරින්ට දැනුම් දුන්නේය.
මෙම අවස්ථාවට අමාත්‍යවරුන්වන දිනේෂ් ගුණවර්ධන සහ මහාචාර්ය ජී.එල් පීරිස් මහත්වරු ද එක්ව සිටියහ.