ශෝක පණිවුඩය

ශ්‍රී ලාංකේය දේශාපාලනයේ නොමැකෙන මතකයන් ඉතිරි කළ සටන්කාමි දේශපාලඥයකු වූ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ හදිසි අභාවය අසා මම බලවත් ශෝකයට පත්වූයෙමි.
ලන්ඩන් නුවර ශාන්ත මාටිනස් විශ්වවිද්‍යාලයෙන් පළමු උපාධිය ලබා 1983 දී නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන මංගල සමරවීර මහතා දේශපාලනයට අත්පොත් තැබූ මුල් වකවානුවේ පටන් මාගේ මිත්‍රයෙකි.
1988 වසරේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර ආසන සංවිධායකවරයා ලෙස පත්වූ මංගල සමරවීර මහතා 1989 පැවැති මහ මැතිවරණය විශිෂ්ට ලෙස ජයග්‍රහණය කර පළමුවරට පාර්ලිමේන්තුවට තේරී පත්විය.
යුක්තිය හා සාධාරණත්වය ඉල්ලා සටන් කරන සමාජ ප්‍රජාතන්ත්‍රවාදය නියෝජනය කරන්නෙකු ලෙස එකල මංගල සමරවීර මහතා පෙරට ආවේය.
88-89 භීෂණ සමයේ සියලු ඝාතන හා පැහැරගැනීම්වලට එරෙහිව මංගල සමරවීර මහතා පිහිටවූ “මව් පෙරමුණ" සංවිධානයේ අපි සම කැඳවුම්කරුවන් ලෙස කටයුතු කළෙමු.
දාහත් වසරක දුර්දාන්ත පාලනයට එරෙහිව අප මෙහෙයවූ පාද යාත්‍රාව සාර්ථක කර ගැනීමට මාතර සංවිධායක ලෙස එදා මංගල සමරවීර මහතා කළ මෙහෙවර ද කිසිදා අමතක කළ නොහැකිය.
සිංහල දෙමළ මුස්ලිම් සියලු ජන කොටස් නියෝජනය කරන ලිබරල් මතදාරියෙකු ලෙස සිය දේශපාලනය පෙරට ගෙන ආ මංගල සමරවීර මහතා 1994 වර්ෂයේ දී පළමු කැබිනට් ඇමතිධුරයට පත්වූ දා සිට විවිධ ආණ්ඩුවල වගකිවයුතු අමාත්‍ය ධුර රැසක් හෙබවීය.
තැපැල් හා විදුලි සන්දේශ, නාගරික සංවර්ධන, වරාය, ගුවන් සේවා, ජනමාධ්‍ය, විදේශ කටයුතු සහ මුදල් අමාත්‍ය ධුර දරමින් තමන්ට පැවරුණු අදාළ විෂය පථ නව මාවතකින් ඉදිරියට ගෙන යාමට මංගල සමරවීර මහතා උත්සහ දැරීය.
සංහිඳියාව පිළිබඳව විශ්වාසය තැබූ මංගල සමරවීර මහතා දේශපාලනයේ දී නිර්මාණශීලී මිනිසෙකි.
අභියෝග හමුවේ තම මතයෙන් බැහැරව නොගිය ඔහු සිය මතවාදය උදෙසා නිරතුරුවම සටන් කළේය.
පසුකාලීනව මතවාදී වශයෙන් වෙනස් දේශපාලන කඳවුරු නියෝජනය කළ ද මියයනතුරුම මංගල සමරවීර මහතා මාගේ පෞද්ගලික මිත්‍රයෙකි.
2005 ජනාධිපතිවරණයේ දී මාගේ ජයග්‍රහණය වෙනුවෙන් මංගල සමරවීර මහතා කළ කැපකිරීම නොමියෙන මතකයකි.
ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ නොමැකෙන ලකුණක් වූ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාට නිවන් සුව අත්වේවා! යැයි ප්‍රාර්ථනා කරමි.

Download Release