අපේ රටේ උරුමය විනාශ කරන්න කිසිවෙකුටත් ඉඩ තබන්නෙ නැහැ - ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා

අපේ රටේ උරුමය විනාශ කරන්න කිසිවෙකුටත් ඉඩ තබන්නේ නැති බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (07) දින අවධාරණය කළේය.
131වැනි ජාතික පුරාවිද්‍යා සැමරුම් උළෙලට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේ දී මේ බව සඳහන් කළේය.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම ජාතික උත්සවයේ දී සෝමාවතිය සහ රිදී විහාරය පුරාවිද්‍යා පර්යේෂණ මධ්‍යස්ථාන ලෙස නම් කිරීම විශේෂත්වයකි.
අතිගරු ජනාධිපතිතුමා විසින් සෝමාවතිය රජ මහ විහාරාධිපති පහමුණේ ශ්‍රී සුමංගල නාහිමියන්ට හා රිදී විහාරයේ විහාරාධිපති තිබ්බටුවාවේ බුද්ධරක්ඛිත නාහිමියන්ට ඊට අදාළ සන්නස් පත්‍රය ප්‍රදානය කරන ලදි.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නව වෙබ් අඩවිය www.archaeology.gov.lk අන්තර්ජාලයට එක් කිරීම ද මෙහි දී සිදුවිය.
ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහත්වරු මෙහි දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නව ප්‍රකාශන ග්‍රන්ථ 14ක් අතිගරු ජනාධිපතිතුමාට සහ ගරු අග්‍රාමාත්‍යතුමාට පිළිගැන්වූහ.
පරම්පරා හතරක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට කළ සේවය වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් සීගිරිය තල්කොටේ අලුත්ගෙදර පරපුර වෙත සම්මාන හා සහතික පත්‍ර ප්‍රදානය කෙරිණි.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අභිනව පුරාවිද්‍යා සොයා ගැනීම් ඇගයීමට ලක්කරමින් මැටි පුවරු ද්විත්වයක් බුදුගල පුරාවිද්‍යා ස්ථානයෙන් සොයාගත් නිමල් කරුණාතිලක මහතාට සහ මෙතෙක් නොදැන සිටි ආදි කාලීන ලෙන් චිත්‍ර සමූහයක් සෙයාගත් ඕ.ආර් ජයතිලක මහතා සහ තනුජා දර්ශනී අමරතුංග මහත්මියට සම්මාන සහ සහතික පත්‍ර ප්‍රදානය කරන ලදි.
අතිගරු ජනාධිපතිතුමාට සහ ගරු අග්‍රාමාත්‍යතුමාට මෙහි දී සිහිවටන තිලිණ ප්‍රදානය කෙරුණු අතර දර්ශනී ජයවර්ධන මහත්මිය විසින් සිතුවම් දෙකක් ද ප්‍රදානය කළාය.
සෝමාවතිය රජ මහ විහාරාධිපති පහමුණේ ශ්‍රී සුමංගල නාහිමියන් සහ රිදී විහාරයේ විහාරාධිපති තිබ්බටුවාවේ බුද්ධරක්ඛිත නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය මෙහි වැඩම කළ වදාළහ.
131වැනි ජාතික පුරාවිද්‍යා සැමරුම් උළෙල අමතා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ සම්පූර්ණ කතාව මෙසේය.
අපේ හාමුදුරුවනේ,
අපේ ජාතිය ගැන අපි බොහොම ආඩම්බරයි. ඒ අතීත උරුමය ගැන අපි නිතර කතා කරනවා. අපිට ලෝකය හමුවේ පෞඩ ජාතියක් ලෙස නැගී සිටීමට හැකිවූනේ ඒ අතීත උරුමය අද දක්වා ආරක්ෂා වන නිසයි කියලයි මම විශ්වාස කරන්නේ.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තමයි අපේ රටේ ඒ අතීත උරුමය මතුකරලා ඒවා සංරක්ෂණය කරලා ආරක්ෂා කරන්නෙ. ඔවුන් ඒ සඳහා විවිධ කැප කිරීම් කරනවා. ඒ වගේම ඒ අතීත උරුමය සංරක්ෂණය කරන ගමන් ඒවා ගැන ජනතාව දැනුවත් කරනවා.
එදා මේ දෙපාර්තමේන්තුව ආරම්භ වුණේ 1890 වසරේ අද වගේ දවසක දි. ඒ අනුව මේ දෙපාර්තමේන්තුවට අදට වසර 131ක් වෙනවා.
මේ දීර්ඝ කාලය තුළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඉටු කළ කාර්යය භාරය මෙතැකැයි කියා අවසන් කරන්න බැහැ. නමුත් එය රට වෙනුවෙන් ඉටු කළ විශිෂ්ට කාර්යය භාරයක් බව මම මේ මොහොතේ සිහිපත් කරන්න ඕනේ.
මිත්‍රවරුනි,
එදා බෙල් මහත්තයා අපේ අතීත උරුමයන් මතුකර ගන්න අනුරාධපුරයේ මුල්ම කැණිම සිදු කරලා ආරම්භයක් ගත්ත පුරා විද්‍යා කැණීම් අදටත් අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා. ඔබ අනුරාධපුරයට ගියාම, පොළොන්නරුවට ගියාම නැත්නම් වෙනත් ඕනෑම පුරාවිද්‍යා සංරක්ෂිත ස්ථානයකට ගියාම මේ තත්ත්වය පිළිබඳ අත්දැකීමක් අත්විඳින්න පුළුවන්.
ලෝකයේ අන් කිසිඳු ජාතියකට නැති අතීත පෞඩත්වයක්, ඒ වගේම අභිමානයක් අපට තිබෙන බව මේ තැන්වලට ගියාම නිරායාසයෙන් හිතට දැනෙනවා. ඒ පෞඩත්වය විඳපු අයෙක් කවදාවත් මේ රටට දක්වන ආදරය මොහොතකට හරි අඩුකරන්නෙ නැති බව අපි දන්නවා.
දඹදෙණිය, යාපහුව වගේ තැනකට ගියත් මේ තත්ත්වයමයි. මේ හැම තැනම අද අපට දකින්න ආරක්ෂාවෙලා තිබෙන්නෙ මේ දෙපාර්තමේන්තුව කලින් කලට කළ සේවාව.
ඔවුන් අතීතය පර්යේෂණ කරමින් වර්තමානයේ අපේ ජනතාවට ඒ උරුමය සොයා දෙනවා පමණක් නෙවෙයි, අනාගතයට ඒ උරුමය රැක දෙන්නත් විශාල මෙහෙයක් ඉටු කරනවා.
මිත්‍රවරුනි,
අපි දන්නවා මුළු ලෝකයම කොවිඩ් වසංගතයට බිලිවෙලා තියෙන වෙලාවක්. ඒ අභියෝගය ජයගන්න ජාතියක් ලෙස අප මේ මොහොතේ වෙහෙසෙමින් සිටිනවා. රට හමුවේ කුමන අභියෝගය පැමිණයත් එවන් අභියෝග ජයගන්නත් අපේ ඒ අතීත මුතුන් මිත්තන් දායාද කළ උරුමය අපට ශක්තියක්.
අද මේ වගේ වසංගත තත්ත්වයක් නොමැති නම් වසරකට ලක්ෂ සංඛ්‍යාත සංචාරකයින් පිරිසක් අපේ රටේ සුන්දරත්වය වගේම අපේ අතීත උරුමය නරඹන්න ලංකාවට එනවා අපිට විශ්වාසයි.
සීගිරියට සහ දඹුල්ලට ඒ අතර තිබෙන්නෙ සුවිශේෂි වටිනාකමක්. එදා බෙල් මහත්මයා කැළෑවෙන් වැසී තිබුණු සීගිරිය සොයාගෙන එහි පුරාවිද්‍යා වටිනාකම හොයන්න ගත්තා. සෙනරත් පරණවිතාන මහත්මයා සීගිරිය සංරක්ෂණය කරා විතරක් නෙමෙයි සීගිරි ගී කියවීමට දහස්වරක් සීගිරිය තරණයා කළා කියලා අපි අහලා තියෙනවා.
එදා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩ පටන් අරන් අවුරුදු 07 කින් ඇරඹුණු සීගිරියේ කැණීම් අදටත් නිමවෙලා නැහැ. සීගිරිය අද ලෝක උරුමයක් බවට පමණක් නෙමෙයි ලෝකයේ පුදුම නිර්මාණයක් බවටත් පත්වෙලා තිබෙනවා. ඒ සියල්ල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නිසයි.
හාමුදුරුවනේ,
අපි දන්නවා කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පවා පුරා විද්‍යා නිලධාරීන් සිය රාජකාරි ඉටුකරනවා. ඔවුන් කවදාවත් සිය සේවය පැහැර හැරියෙ නැහැ. ඒ අය වැඩ කරන්නෙ රට රකිනවා වගේ වගකීමෙන් කියලා අපේ විදුර වික්‍රමනායක රාජ්‍ය ඇමතිතුමා අපිට කිව්වා. අපේ අමාත්‍යංශයේ ලේකම්තුමත් නිතර ඇවිත් ඒ අයගෙ අවශ්‍යතාවන් ගැන මට නිතර මතක් කරනවා. ඒ දේවල් අපි ඉටු කරනවා.
ඒ නිසා වෙහෙස නොබලා අනාගත පරපුර වෙනුවෙන් පුරාවිද්‍යා ස්ථාන රැකගනිමින් අලුත් දැනුම ලෝකය හමුවේ තබන ඒ සියලු දෙනාට අපගේ ප්‍රණාමය පුදකරනවා.
අතීත මානවයා සම්බන්ධයෙන් ඉතා මෑතක කළ අනාවරණයක් පවා විදෙස් පුරාවිද්‍යාඥයන් ඇතුළු මුළු ලෝකයේම අවධානය දිනා ගන්නවා අපි දැක්කා.
හාමුදුරුවනේ,
නැගෙනහිර පළාත කියන්නේ පුරාවිද්‍යාත්මක ස්ථාන රාශියක් පිහිටා ඇති භූමියක්. සේරුවාවිල, මුහුදු මහා විහාරය, ගිරිගඩුසෑය, ලංකාපටුන, කෝනේෂ්වරන් වගේ ඓතිහාසික ස්ථාන රැසක් එහි තිබෙනවා.
හැබැයි විවිධ හේතූන් නිසා ඒ ස්ථාන කාලයක් පුරාවට තර්ජනයන්ට ලක්වෙමින් තියෙනවා . සමහර කාලවල මේ රට පාලනය කළ අයත් මේවා විනාශ වෙන්න දීලා බලාගෙන හිටියා. ඒ අය ඇහුවා පුරාවිද්‍යා ස්ථානවලින් මොනවා කරන්න ද කියලා අහපු යුගයක් තිබුණා. කවුරු හිටියත් මොකද ඇහුවා. ස්මාරක උඩ කොන්ක්‍රීට් දාලා බැමි බැන්දා කිව්වත් ඇස් පියන් හිටියා. ඒවා ගැන අමුතුවෙන් කියන්න උවමනා නැහැ.
හැබැයි ජනතාවට මේවා කවදාවත් අමතක වෙන්නෙ නැහැ කියලා මම විශ්වාස කරනවා.
මේ දේවල් අපේ රටේ උරුම. ඒවා විනාශ කරන්න කාටවත් ඉඩදෙන්න බැහැ. ඉඩ තියන්නෙත් නැහැ.
මිත්‍රවරුනි,
අපේ ජනාධිපතිතුමත්, පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කරගන්න දිවා රෑ වෙහෙසෙන නායකයෙක්. එතුමා ඒ ස්ථානවලට ගිහිල්ලා, ඒ තැන් විනාශ වෙන එක වළක්වන්න පියවර ගත්තා. ඒ වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධන බලකායක් පවා අද පිහිටුවලා තිබෙනවා.
ඒ අනුව තමයි මුහුදු මහා විහාරය වගේ රැකගත යුතු භූමිය අද මේ තරමින්වත් ආරක්ෂා වෙලා තියෙන්නේ. එම ‌ ඓතිහාසික ස්ථාන ජාතික උරුමයන්. ඒක එක ජාතියකට එක ආගමකට උරුමවෙච්ච දේවල් නෙමෙයි. මේ රටේ උරුමය.
ඒ නිසා මේ තැන් ආරක්ෂා කරද්දි ජාති ආගම් ජනවර්ග කියලා බෙදීම් ඇතිකර ගත යුතු නැහැ. පුරාවිද්‍යා ස්ථාන විනාශ කරන්න කවුරුහරි පියවර ගන්නවා නම් ඒ අයට එරෙහිව දඬුවම් දිය යුතුයි. ඒ දඬුවම් ප්‍රමාණවත් නැත්නම් ඉදිරියේ දී ඒ පනත් සංශෝධනය කිරීමට අපට හැකියාව තිබෙනවා.
මිත්‍රවරුනි,
යුනෙස්කෝව නම් කරපු ලෝක උරුමයන් 890 න් ස්ථාන 7ක්ම අපේ රටේ උරුමයන්.සීගිරිය, අනුරාධපුර, පොළොන්නරුව, මහනුවර, දඹුල්ල, ගාලු කොටුව යන පුරාවිදයාත්මක ස්ථාන හයක්ම ඊට ඇතුළත්. සිංහරාජය තමයි හත්වැන්න.
මේ උරුමය ආරක්ෂා කරන සියලු දෙනා ආරක්ෂා කරන්නෙ අපේ මාතෘ භූමියේ අභිමානය සහ පෞඩත්වය. ඔවුන් යුද්ධයට ගිය රණවිරුවන් මෙන් මේ රට අනාගත පරපුරට අපගේ උරුමය ආරක්ෂා කර දෙන්න වෙහෙසෙනවා.
අද වනවිට පුරාවිද්‍යා විෂය දියුණු තාක්ෂණික ක්‍රම මත පදනම් වෙමින් මානව සංවර්ධිත විද්‍යාත්මක විෂයක් බවට පත්වෙලා. ඒ නිසා අතීතයෙන් උරුම වූ දැනුම් සම්භාරය වර්තමාන ප්‍රයෝජනයට ගැනීම අත්‍යවශ්‍යයි. ඒ වගේම ගෝලීය පුරවැසියන් ලෙස සමෘද්ධිමත් වීමට අවශ්‍ය දැනුම කුසලතාව මේ විෂය තුළ අන්තර්ගතවෙනවා.
අවසානයේ ශ්‍රී ලංකාවේ උරුමය පිළිබඳ අවබෝධය ඇති අනාගත පරපුරක් නිර්මාණය කිරීමේ වගකීම තිබෙන්නෙ අප සතුවයි. ඒ සඳහා ඔබ සියලු දෙනා එක්ව ඉටු කරන විශිෂ්ට කාර්යය භාරයට රජයක් ලෙස අපගේ සෑම සහයෝගයක්ම ලබා දෙන බව විශ්වාසයෙන් යුතුව ප්‍රකාශ කරනවා.
ඔබ සැමට සුබ අනාගතයක් වේවා ! යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.
මෙම අවස්ථාවට ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහත්වරු සහ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් කේ.ඒ.ඩී.ආර් නිශාන්ති මෙනවිය ඇතුළු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරී මහත්ම මහත්මීහු පිරිසක් එක්ව සිටියහ.