ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රමය පිළිබඳ කාන්තා උනන්දුව ජනප්‍රගමනයේ වැදගත් ලක්ෂණයක් . - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා-

ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රමය පිළිබඳ කාන්තා උනන්දුව වර්ධනය වීම ජන ප්‍රගමනයේ වැදගත් ලක්ෂණයක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අග්‍රමාත්‍යවරයා මේ බව සදහන් කළේ හිටපු අමාත්‍ය ෆේරියල් අස්රොෆ් මහත්මිය ඇතුළු පළාත් පාලන මන්ත්‍රීවරියන් හා සක්‍රීය දේශපාලනයේ නියුතු මුස්ලිම් කාන්තාවන්ගේ එකමුතුව සමග අග්‍රාමාත්‍ය කාර්යාලයේ 2022.09.29 දින පැවති සාකච්ඡාවකදීය.

විශේෂයෙන් මුස්ලිම් කාන්තාවන් මැතිවරණ වලට සම්බන්ධ වීමට දැඩි උනන්දුවක් දැක්වීම අප ජන සමාජයේ ප්‍රගමනයට තුඩුදෙන ලක්ෂණයක් යැයි ද අගමැතිවරයා මෙහිදී සඳහන් කළේය.

ඉදිරි මැතිවරණ වලදී කාන්තා නියෝජනය 25% සිට 50% දක්වා ඉහළ නංවන ලෙස මෙහිදී කාන්තා නියෝජිතයෝ අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියහ .

මේ වන විට පළාත් පාලන ආයතන කාන්තා නියෝජනය 25% දක්වා වැඩි කර ඇතත් ඉදිරි පාර්ලිමේන්තු, පළාත් සභා හා පළාත් පාලන ආයතන මැතිවරණවල දී එය 50 % ක් දක්වා ඉහළ නැංවීම පවතින ආර්ථික වාතාවරණය හමුවේ අත්‍යවශ්‍ය තත්වයක් බව දේශපාලනයේ නියුතු මුස්ලිම් කාන්තා නියෝජිතයෝ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවේ සදහන් කළහ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මැතිවරණ කොමිසන් සභාව හා දේශපාලන පක්ෂ ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කර තීරණ ගත යුතු බව පැවසීය.

පළාත් පාලන ආයතන කාන්තා නියෝජනය 25% දක්වා වැඩි කළ අවස්ථාවේ ඒ සදහා කාන්තාවන් ඉදිරිපත් වීම ප්‍රමාණවත් නොවූ බවද සිහිපත් කළ අග්‍රාමාත්‍යවරයා එවැනි තත්ත්වයක් තුළ වර්තමානය වන විට ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ව්‍යුහය පිළිබඳ කාන්තාවන් මෙතරම් උනන්දුවක් දැක්වීම යහපත් ලක්ෂණයක් බව ද පැවසීය.

එම උනන්දුව කාන්තාවන් තුළින් වර්ධනය වී ඇති බව පෙන්වා දුන් ෆේරියල් අශ්රොෆ් මහත්මිය සඳහන් කළේ ඉදිරි මැතිවරණ සඳහා සහභාගිවීමට කාන්තාවන් තුළ දැඩි අවශ්‍යතාවයක් මතුව ඇති බවයි.

එසේම කාන්තා නියෝජනය ඉහළ නැංවීම තුළින් මුස්ලිම් කාන්තාවන්ට ද වැඩි අවස්ථාවක් හිමිවන අතර
පළාත් පාලන දේශපාලනයේ යෙදෙන කාන්තාවන්ට බිම් මට්ටමේ ජනතාවගේ ගැටලු රැසක් විසඳීම සඳහා අවස්ථාව හිමිවන බවත් මුස්ලිම් ජනතාවගේ පීඩාවන් හඳුනාගැනීමට සහ ගැටළු වලට විසඳුම් ලබා දීමට කාන්තා මුස්ලිම් නියෝජිතයින්ට ද වැඩි අවස්ථාවක් උදාකර ගත හැකි බවත් ඔවුහු පැවසූහ.

දේශපාලන වේදිකාවේ දී ආගම ජාතිය අනුව කාන්තා නියෝජනය වෙනස් නොවිය යුතු අතර ආර්ථික අර්බුදය හමුවේ වැඩි පීඩාවකට පත් වන්නේ නිවසේ වෙසෙන කාන්තාවන් සහ දරුවන්ය.

මැතිවරණ සඳහා ඉදිරිපත් වීමට කාන්තාවන්ට ලැබෙන අවස්ථාව ඉහළ යත්ම මුස්ලිම් ජනගහනය වැඩි ප්‍රදේශවල මුස්ලිම් කාන්තා නියෝජනය ද ඉහළ යන බැවින් සමස්ත ශ්‍රී ලාංකික කාන්තාවන්ට එම අවස්ථාව ලබා දෙන්නැයි හිටපු ඇමතිනි ෆේරියල් අෂ්රොෆ් මහත්මිය මෙහිදී අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියාය.

අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී සඳහන් කළේ තරුණ නියෝජනය ඇතුළත කාන්තා නියෝජනය ඉහළ නැංවීමට අවස්ථාවක් පවතින බවයි.

මෙම හමුව සඳහා යාපනය, ත්‍රිකුණාමලය,අම්පාර, වවුනියාව, පුත්තලම, ගම්පහ කොළඹ ඇතුළු දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවක පළාත් පාලන ආයතන නියෝජනය කරමින් මුස්ලිම් කාන්තා නියෝජිතයන් පිරිසක් සහභාගී වූහ.