ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් යෝජිත ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පැකේජයට එකඟ වූ වහාම නවතා ඇති JAICA ව්‍යාපෘති නැවත ආරම්භ කෙරේ.

මූල්‍ය ගැටලු හේතුවෙන් තාවකාලිකව නවතා ඇති සියලුම ව්‍යාපෘති නැවත ආරම්භ කරන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයෙන් (JAICA) ඉල්ලා සිටියේය.

අග්‍රාමාත්‍යවරයා මෙම ඉල්ලීම කළේ දකුණු ආසියාව සඳහා වන JAICA අධ්‍යක්ෂ ජනරාල් ඉතෝ තෙරුයුකි මහතා සඳුදා (20) ඔහු හමුවූ අවස්ථාවේදීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින්ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනට එකඟත්වය පළ කළ වහාම ජයිකා ව්‍යාපෘති නැවත ආරම්භ කරන බවට තෙරුයුකි මහතා අග්‍රාමාත්‍යවරයාට සහතික විය.

රාජ්‍ය මූල්‍ය අර්බුදය හේතුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5ක් වටිනා JAICA ව්‍යාපෘති 12ක් තාවකාලිකව නතර කර තිබේ. ජපානය ද ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන ලද IMF ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුම්වල ප්‍රගතිය පිළිබඳව JAICA නියෝජිත පිරිස සතුට පළ කළහ.

නගර කිහිපයක ක්‍රියාත්මක ජල පිරිපහදු කිරීම, මලාපවහන, සනීපාරක්ෂාව සහ ඝණ අපද්‍රව්‍ය පිරිපහදු කිරීමේ ව්‍යාපෘති සඳහා දශක කිහිපයක් තිස්සේ ශ්‍රී ලංකාවට ලබා දෙන අඛණ්ඩ සහාය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා JAICA අධ්‍යක්ෂ ජනරාල්වරයාට ස්තූතිය පුද කළේය. පුනර්ජනනීය බලශක්තිය සහ දුම්රිය මාර්ග ඇතුළු පොදු ප්‍රවාහන පහසුකම් විද්‍යුත්කරණය කිරීම වැනි නව ක්ෂේත්‍ර සඳහා ද JAICA සහාය ලබා දෙන ලෙස ද ඔහු එහිදී වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කමිටුව විසින් නිර්දේශ කර ඇති පරිදි අවශ්‍ය නීති සම්පාදනය කරමින් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී විනිවිදභාවය සහ වගවීම වැඩි දියුණු කිරීමට ගෙන ඇති පියවර පිළිබඳව ද අග්‍රාමාත්‍ය ගුණවර්ධන මහතා JAICA නියෝජිත පිරිස දැනුවත් කළේය. ආණ්ඩු වෙනස් වුවද ජාතික වශයෙන් වැදගත් ව්‍යාපෘති සහ ප්‍රතිපත්ති අඛණ්ඩව පවත්වාගෙන යාම සහතික කිරීම සඳහා අයවැය පනතක් සම්මත කරන බව ද ඔහු පැවසීය.

අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ලේකම් නීල් බණ්ඩාර හපුහින්න, ජපාන තානාපති මිසුකෝෂි හිදෙකි, JAICA ප්‍රධාන නියෝජිත තෙත්සුයා යමදා සහ විශේෂ නියෝජිත ඉදෙ යූරි යන මහත්ම මහත්මීහු මෙම සාකච්ඡාවට සහභාගි වූහ.