මුස්ලිම් ප්‍රජාව, රටේ ව්‍යාපාර හා විවිධ ක්ෂේත්‍රයන්ට දෙන දායකත්වය වැදගත්. - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.04.18 දින අරලියගහ මන්දිරයේ දී පැවැති ඉෆ්ථාර් උත්සවයේදීය.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා -

"නිදහසින් පසු වසර 75 ගතවන වසරේ එළැඹි ඇති මෙම සුබ අවස්ථාවේදී අප සමාජය තුළ එකාවන්ව ජීවත්වන ශ්‍රී ලාංකිය මුස්ලිම් ප්‍රජාව විසින් රටේ පාලන ක්‍රියාවලියට, ව්‍යාපාර ක්ෂේත්‍රයට, අධ්‍යාපන හා විවිධ වෘත්තීය ක්ෂේත්‍රවලට, ක්‍රීඩා හා සංස්කෘතික ක්ෂේත්‍රවලට ලබාදෙන සක්‍රිය දායකත්වය අතිශයින්ම අගය කිරීමට ද අවස්ථාවක් කර ගැනීමට කැමැතියි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජය එය ඉතාම වැදගත් දායකත්වයක් කොට සලකනවා.

මෙම රාමසාන් උපවාස කාලය මෙරට වෙසෙන අප ශ්‍රී ලාංකීය මුස්ලිම් ප්‍රජාව තම ආගමික භක්තිය මෙන්ම එකිනෙකා අතර මෙන්ම අනෙකුත් ජනවර්ග අතරද සහජීවනය ප්‍රකට කර ගැනීමට යොදවා ගන්නා බව අප සියලු දෙනාටම නොරහසක්.

අප ජාතියක් ලෙස මේ වනවිට පසු කරමින් සිටින අතිශය අසීරු ආර්ථික අභියෝග මෙන්ම නව රාජ්‍ය හා ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලින් හමුවේ, එම ඉලක්ක සාර්ථක කර ගනිමින් රට ඉදිරියට යාම පිණිස සියලු ජන වර්ගවල එකමුතුව හා සක්‍රිය දායකත්වයන් තවදුරටත් ශක්තිමත්ව පවත්වා ගෙන යාම සඳහා මුස්ලිම් ප්‍රජාගේ කාරුණික කැපවීම අපේක්ෂා කරනවා.

අප සියලුම දෙනා විශ්වාස කරන අයුරින් අනාදිමත් කාලයක සිට රාමසාන් උපවාස කාල සීමාව යනු ශ්‍රී ලාංකිය මුස්ලිම් ප්‍රජාව විසින් තම ආගමික වතාවන් හා ප්‍රාර්ථනා අගය කරමින්, අන් අයටද උපකාර කිරීම වැනි ක්‍රියාවන් හරහා අප රට තුළ පවතින සංස්කෘතික හා ආගමික විවිධත්වයට ආදර්ශමත් අරුත් ලබා දෙන මාසයක්.

අද අප සියලු දෙනා විසින් සමරන මෙම නිල ඉෆ්ථාර් උත්සවය අප අතර පවතින මිත්‍රත්වය හා සහෝදරත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා දරන ලද අවංකවූ ප්‍රයත්නයක්."

මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ආගමික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, මුස්ලිම් අමාත්‍යවරු, පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු, තානාපතිවරු, මුස්ලිම් ආගමික, ආර්ථික, සංස්කෘතික හා සමාජයීය සංවිධාන නියෝජිතයින් ඇතුළු මුස්ලිම් ප්‍රජාව රැසක් එක්ව සිටියහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය.