අනගාරික ධර්මපාලතුමා, අපේ නිදහස් සටනේ වීරවරයන් අතර සුවිශේෂ වීරවරයෙක්

අද ජන්ම දිනය සමරන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොඩිටත් අගමැතිගෙන් සුභ පැතුම්.

අනගාරික ධර්මපාලතුමාගේ 158 වන ජන්ම දින සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 2022.09.17 වන දින කොළඹ මහා බෝධි විහාරයේදී පැවැත්විණි.

මෙහිදී අනුශාසනාව සිදුකළ අග්‍රශ්‍රාවක ධාතුතේවාව භාර අම්ඹුලුගල සුමංගල නායක සවාමීන්වහන්සේ,
වර්තමානයේ රටේ පවතින යම් යම් අර්බුධ නිසා දේශපාලන නායකයින් උත්සව අවස්ථා වලට සහභාගී වෙන ප්‍රමාණය අඩුයි. හැබැයි අපේ අග්‍රාමාත්‍යතුමා මොන මොන තනතුරු තිබුනත් නැතත් ඔබතුමා මහාබෝධි සමාගමවත්, අග්‍රශ්‍රාවක ධාතුවිහාරයවත්, අපේ ධර්මපාලතුමාවත් අපේ බානගල නායක හාමුදුරුවෝවත් අමතක නොකළ නිසා ඔබතුමාට මහාබෝධිය අමුතු තැනක් නෙමෙයි හැමදාමත්. අපට මතකයි ගිය වර්ෂයේදී ඔබතුමාටම ධර්මපාල ජන්ම දින උත්සවය මතක් වෙලා යධාමිනී ගුණවර්ධන මැතිතුමන් සමඟ කථා කරලා ඒ උත්සවයටත් ඔබතුමා සම්බන්ධ වුණා. යැයි උන්වහන්සේ පැවසීය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා,
මහා බෝධිය ගොඩ නගලා ශත වර්ශ එකහමාරක් පමණ වනවා. අනගාරික ධර්මපාලතුමා ජාතියේ මහා සම්පතක් මෙරට උපන් කිසිවෙකුට අනගාරික ධර්මපාලතුමා අමතක කළ නොහැකියි. සකල ලෝවාසීන් වෙනුවෙන් බුදුන් වදාළ ධර්මය ශතවර්ශ ගණනාවක, වර්ශ 2600කට පවතින්නට පුලුවන් ධර්මතාවක් බවට පත්වී තිබෙනවා. ඒ වෙනුවෙන් දේශ දේශාන්තර හරහාද ලුම්බිනියේ සිට භාරතය හරහා ශ්‍රී ලංකාවටද සම්බුද්ධ දේශනයට සහ සම්බුද්ධ ධර්මයේ ආරක්ෂාවට මග පෙන්වීම කළ දැවැන්තම මග පෙන්වන්නා අනගාරික ධර්මපාලතුමායි. අපි අද වසර 158ක උපන්දිනය සමරන්නේ ලෝක සත්වයාට ධර්ම අවබෝධය ලබා දීමට ගමන් කළ සුවිශේෂ ධර්ම ප්‍රචාරක පිතෘවරයා හැටියටයි. ඒ අවස්ථාවන්ට දිගටම දායකත්වය දෙන්න මහා බෝධි සමාගමට හැකි වුණා. බානගල උපතිස්ස මහානායක ස්වාමීන් වහන්සේ මෙරට වැඩසිටියත් ඉන්දියාවේ වැඩ සිටියත් ජපානයේ වැඩ සිටියත් ඒ මඟපෙන්වීම ඉටු කරන්න පුලුවන් වුණ නිසයි අඛණ්ඩව මේ දක්වා පැවැත් වෙන්නේ. නිදහස සම්බන්ධව කථා කරන විට, එවකට අපේ පන්සලකටවත් රැස්වී ආගමින් තොර දෙයක් කථා කිරීමට තහනමක් පැවතුනා, එකල පැවති ඒ තහනමට එරෙහිව අභිමානවත්ව සහ එඩිතරව නැගී සිටි අනගාරික ධර්මපාලතුමා ඊට එරෙහිව තර්ක විතර්ක ඉදිරිපත් කිරීම නිසා එම තහනම පසුකාලීනව ඉවත් කිරීමට බ්‍රිතාන්‍ය රජය කටයුතු කළා. ඒ නිදහස දිනාගෙන අපේ රටට එන පෙබරවාරි 04 වනදාට 75වසරක් සපිරෙනවා. අපේ නිදහස් සටනේ වීරවරයන් අතර සුවිශේෂ වීරවරයෙක් ලෙස අපි අණගාරික ධර්මපාලතුමා පිළිගන්නවා.
දුෂ්කරතා මධ්‍යයේ රටක ජනතාවක් නැගී සිටින්නේ කෙසේද උට්ඨාන වීර්යයෙන් තම වගකීම් ඉටු කරන්න රට වැසියන් අවදි කළ හැක්කේ කෙසේද අපට හිමි ගමන් මගේ අපේ රටේ ඇති සම්පතට අපිට දායක විය හැකි ප්‍රමාණයන් කුමක්ද කියා අනගාරික ධර්මපාලතුමා ශතවර්ෂයකට පමණ පෙර ප්‍රකාශයක් කළා. වැඩෙන වැඩෙන පරම්පරාව ඒ බව සිහිපත් කළ යුතුයි.
ඒවගේම අද ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මැතිතුමාගේ උපන්දිනය යෙදී තිබෙනවා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මම එතුමාටත් සුභපැතුම් එක්කරන්නට මම මෙය අවස්ථාවක් කරගන්නවා යැයිද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී පැවසීය.
ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ ලේකම් තීනියාවල පාලිත නායක ස්වාමීන්වහන්සේ, අග්‍රශ්‍රාවක විහාරාධිකාරි මොනරාගල පඤ්ඤාලංකාර ස්වාමීන්වහන්සේ, රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලයේ සහකාර ලේකම්තුමන් ඇතුලූ පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.