’දහම් පාසල් අධ්‍යාපනයට බාධක රැසක් තියෙනවා. දහම් පාසල් ගුරු පරමාදර්ශී සිද්ධාන්තය තුළ ඒ බාධක ඉවත්කිරීමට හැකි වේවි.’ - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ නව වසර ආරම්භයේ (2023.01.01) ආගමික වතාවත් සඳහා සහභාගි වූ අවස්ථාවේදීය.
කැලණිය රජමහා විහාරයේ දී ආගමික වතාවත් සිදුකළ අග්‍රාමාත්‍යවරයා, කැලණි රජ මහා විහාරාධිපති පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන් බැහැ දුටුවේය.

අනතුරුව, නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් බැහැදුටු අග්‍රාමාත්‍යවරයා අභයාරාමයේ පැවති දහම් පාසල් ගුරු පුද උළෙලට සහභාගි විය.

එහිදී කතා කළ අග්‍රාමාත්‍යවරයා...
"අපේ රටේ බෞද්ධ ප්‍රබෝධයට නායකත්වය දුන් බෞද්ධ සංගම් හා ඒ නායක නායිකාවනට දහම් අධ්‍යාපනය විවිධ මඟ පෙන්වීම් කළා. බුදුරජාණන් වහන්සේ වදාල ධර්මය අප කාටත් අවබෝධ කරගැනීමට හැකි වන්නේ ඒ ශාසනික මෙහෙවර නිසයි. ඒ වගේම ඊට සම්බන්ධව කටයුතු කරන ගිහි පාර්ශ්වයේ දහම් පාසල් ගුරුවරුන් නිසයි. ලේඛණ කලාව නිසා අවුරුදු දෙදහස් හයසීයකට උරුමකම් කියන බුද්ධ දර්ශනය පරම්පරාවෙන් පරම්පරාවට තවත් ශතවර්ෂ ගණනාවක් අවබෝධ කරගෙන අනුගමනය කරන ගිහි සමාජයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා දහම් පාසල් ගුරුවරු ලෙස දරුවන්ට ධර්මය අවබෝධ කර දෙන්නට තම ජීවිතය කැප කිරීම මහඟු උතුම් පුණ්‍ය කර්මයක්. ධර්මය ජීවමාන වන්නේ මහ සගරුවන සහ දහම් පාසල් අධ්‍යාපනය නිසයි.

එය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ගුරුභවතුන් ඉටුකරන කාර්යභාරය අඛණ්ඩව පවත්වා ගැනීමට ලබාදිය හැකි සියලු සහයෝගයන් රජයක් වශයෙන් ලබා දෙනවා. රටේ අනාගතය, අලුත් පරම්පරාව ධර්ම අවබෝධයෙන් නිවැරදි මගක හැදෙන්නටත්, ඔවුන් වගකීම් ඉෂ්ට කරන පුරවැසියන් වශයෙන් පරිවර්තනය කිරීමටත් දහම් පාසලෙන් ඉටුවන කාර්යභාරය අති විශිෂ්ටයි.
දහම් පාසල් පවත්වා ගෙන යන්නේ අභියෝග බාධාවන් හමුවේයි. ඒවා සම්බන්ධයෙන් රජය අවධානයෙන් පසුවෙනවා. ඉරිදා දිනය දහම් පාසල් අධ්‍යාපනයට යොමු විය යුතුයි. රජය දහම් අධ්‍යාපනයෙන් අනාගත පරපුරට මග පෙන්වන්නට කළ හැකි හැම යහපත් දෙයක් ම එකතු කරනවා.

එහිදී අනුශාසනා කළ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි....
"සම්බුද්ධ ශාසනයට වගේ දහම් අධ්‍යාපනයට එවක් පටන් මේ දක්වා දිනේෂ් ගුණවර්ධන මැතිතුමා කළ මෙහෙය ඉතා වැදගත්. ජාතික ව්‍යාපාරය තුළ එතුමා සමග සක්‍රීයව කටයුතු කළ බව අපි හොඳින් දන්නවා. මේ ජාතික ව්‍යාපාරයේ කේන්ද්‍රස්ථානයක්. විවිධ ගැහැට මැද එදා අප මේ ස්ථානය සිට ජීවිත තර්ජන මැද රට වෙනුවෙන් වැඩ කළා. ඔබතුමා බොරලුගොඩ සිංහයා ගේ උරුමක්කාරයෙක්. අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හැසිරීම, වාග් කෞශල්‍ය නිසා පාර්ලිමේන්තුව කියන්නේ ජනතාව පිළිකුල් කරන ආයතනයක් බවට පත්වෙලා. පාර්ලිමේන්තුව කියන්නේ රට හදන තැනක්. එතැන නරක් වුනොත් අනික් තැන් ගැන කවර කතාද. මෙතුමා කවදාවත් මවගේ පියාගේ, පරම්පරාවේ නම කැත කරලා නැහැ. එතුමාගේ බල තුලනයේ ඉඳගෙන යමක් කළ හැකි නම් කවදාවත් එය පැහැර හැර නැහැ. දිනේෂ් ගුණවර්ධන මැතිතුමා අපි හැමදාම ආදරය කරන චරිතයක්. අපේ රටට විපත්තියක් උන හැම වෙලාවකම එතුමා මුල් වෙලා කටයුතු කරනවා. කාටහරි පුලුවන් නම් එතුමාට විරුද්දව අල්ලස් ගත්ත පගාව ගත්තා කියලා චෝදනාවක් කරලා පෙන්වන්න. ඉදිරියේදීත් එවැනි අපවාදයක් එතුමාට එල්ල වෙන්නේ නැහැ."

මෙම අවස්ථාවන්ට රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සභාපති මෙහන්ද්‍ර පෙරේරා, වසර හැටක් දහම් පාසල් සේවයට ගුරු උපහාර ලද ෂෙල්ටන් කීර්ති ඇතුළු පිරිසක් එක්ව සිටියහ.