ශ්‍රී ලංකාවේ බෝරා ප්‍රජාවට අයත් සාමාජිකයින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවෙයි.

ශ්‍රී ලංකාවේ සිටින බෝරා ප්‍රජාවට අයත් ප්‍රමුඛ පෙළේ සාමාජිකයින් පිරිසක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වූ අතර බෝරා මධ්‍යස්ථාන සහ එම ප්‍රජාවේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ සඳහා ලබා දුන් සහයෝගීතාවය වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයාට කෘතඥතාව පළ කළහ.

ඔවුන් තම මධ්‍යස්ථානවල සිදුකෙරෙන ආගමික සහ සුබසාධන කටයුතු පිළිබඳව අගමැතිවරයා දැනුවත් කළහ. බෝරා අධ්‍යාත්මික නායකයා මෙන්ම එම ප්‍රජාවේ 53 වන ජ්‍යෙෂ්ඨ නායකයා වන මුෆද්දල් සයිෆුදින් ලබන මාර්තු මාසයේ සිදුකිරීමට නියමිත ශ්‍රී ලංකා සංචාරයේදී අග්‍රාමාත්‍යවරයා හමුවීමට බලාපොරොත්තු වන බව ද ඔවුහු පැවසූහ.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන මහතා ද සහභාගි වූ අතර බෝරා කණ්ඩායමට යුසුෆ් හුසේන්, අබ්දීලි හුසීමා, ෆක්රුදීන් සහ මුස්තෆා යුසුෆොලී යන අය ද ඇතුළත් විය.