පුනර්ජනනීය බලශක්තිය, වාහන නිෂ්පාදන, කෘෂි තාක්ෂණ, කඩදාසි හා මුද්‍රණ ආශ්‍රිත ක්ෂේත්‍ර පුළුල් කිරීමට චීනයේ සහාය....

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ චීන කුඩා හා මධ්‍යම වාණිජ ව්‍යවසායකයන්ගේ සංගමය (CASMCE)අතර හමුවක් අද (2024.04.25) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

පුනර්ජනනීය බලශක්ති, වාහන නිෂ්පාදන, කෘෂි තාක්ෂණ , කඩදාසි හා මුද්‍රණ ආශ්‍රිත ක්ෂේත්‍ර පුළුල් කිරීම හා වෙළඳ ආයෝජන පිළිබඳව මෙහිදී අවධාණය යොමු කෙරිණි.

අග්‍රාමාත්‍යවරයා චීනයේ සංචාරය කිරීම පිළිබඳව චීන ජනතාව ඉතා සතුටට පත්වන බව CASMCE සංගමයේ සභාපති රෙන් සිංග්ලේ (REN XINGLEI) මහතා මෙහිදී ප්‍රකාශ කළ අතර එම සංචාරය පිළිබඳව ස්තුතිය පළ කළේය.

මෙරට සූර්ය බල ශක්තිය, සුළං ශක්තිය සහ ජෛව ස්කන්ධ ශක්තිය ආශ්‍රිත කර්මාන්ත නගා සිටුවීම සඳහා ආයෝජනය කිරීමට හැකියාව පවතින බව CASMCE සංගමයේ උපසභාපති සු සියෑන්ග් (XU XIANG) මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

උසස් ප්‍රමිතියෙන් යුතු කුරුඳු චීනයට අපනයනය කිරීමේ හැකියාව සහ ඉලෙක්ට්‍රොනික වාහන ආනයනය සඳහා ප්‍රමුඛතාවය ලබා දීමේ හැකියාව පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක හා චීන කුඩා හා මධ්‍යම වාණිජ ව්‍යවසායකයන්ගේ සංගමයේ නිලධාරීන් ඇතුළු චීන ව්‍යවසායකයින් රැසක් හා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ, කර්මාන්ත අමාත්‍යාංශයේ, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය