ශ්‍රී ලංකාවේ කෘෂි වන වගා පිලිවෙත් ශක්තිමත් කිරීම සඳහා වූ ICRAF ගිවිසුමට අගමැති ප්‍රශංසා කරයි.

ඉදිරි දශක කීපය තුළ ශ්‍රී ලංකාවේ පරිසර පද්ධති සහ ජීවනෝපායන් හැඩගැස්වීම සඳහා දේශගුණික විපර්යාස වල බලපෑම වඩාත් අවධානයට ගත යුතු යයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.පරිසර පද්ධතියට සිදුවන අහිතකර බලපෑම් අඩුකිරීම සඳහා දැනුවත් භාවය හා ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම අත්‍යවශ්‍ය බවත් ඒ මහතා කියා සිටී.2022.9.14 අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ලෝක කෘෂි වන විද්‍යා පර්යේෂණ හා ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ( ICRAF) අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටෝනි සයිමන්ස් මහතා සමග පැවැති හමුවකදී අගමැතිවරයා මේ බව කීවේය.ශතවර්ෂ ගණනාවක් පුරා ශ්‍රී ලංකාව සාම්ප්‍රදායික කෘෂි වන වගා පිළිවෙත් තුළින් ස්වභාව ධර්මයේ අවශ්‍යතා දක්ෂ ලෙස හඳුනාගෙන උපයෝගි කරගෙන තිබේ.පාරිසරික ආහාර සුරක්ෂිතතාව සහ සමාජ සංවර්ධන ගැටලු විසදීම සඳහා අඛණ්ඩව ඉහළ ප්‍රමුඛතාවක් ලබා දීමෙන් ශ්‍රී ලංකාව ලොවට ආදර්ශයක් ද සපයා ඇතැයි ආචාර්ය ටොනි සයිමන්ස් මහතා මෙහිදී පැවසීය. ශ්‍රී ලංකා රජය ICRAF වෙත දක්වන විශ්වාසයට ඔහු අගමැතිවරයාට ස්තූතිය පළ කළේය.ශ්‍රී ලංකාව සුන්දර රටකි. එහි බහුල ව ඇති මානව ස්වභාවික හා සමාජයීය ප්‍රාග්ධනය ප්‍රයෝජනයට ගනිමින් හරිත යටිතල පහසුකම් සංවර්ධනයේ නව අදියරකදී ශ්‍රී ලංකා රජයට සහය දැක්වීමට හැකි වීම පිළිබඳව සතුටු වන බව සයිමන් මහතා කීවේය.
ශ්‍රී ලංකාව සමඟ අත්සන් කළ ගිවිසුම මගින් කෘෂි විද්‍යාවේ නවතම දේ සමග දේශීය ක්‍රමවේද වලට සහාය වෙමින් රටේ සංවර්ධන න්‍යාය පත්‍රයට දායකවීමට ICRAF සූදානම් බවද ඔහු සඳහන් කළේය.සියල්ලන්ටම හරිත හා වඩා විචිත්‍රවත් අනාගතයක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා රජයට ආයතනවලට හා ජනතාවට සහාය වීමට අප සූදානම් බව ඔහු තවදුරටත් කීවේය
එම ආයතනයේ ශ්‍රී ලංකාවේ අන්තර්වාර නේවාසික අධ්‍යක්ෂ ලක්සිරි අබේසේකර මහතා මෙහි දී පැවසුවේ කුඩා වතු හිමියන් කේන්ද්‍ර කරගත් නවෝත්පාදන තාක්ෂණයෙන් සංවර්ධනය කිරීමේ අත්දැකීම් ICRAF සතු බවයි.
අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක ,ICRAF හී නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් රවී ප්‍රභූ,එහි ආසියානු අධ්‍යක්ෂ ජාවෙඩ් රිස්ව් යන මහත්වරු ද මෙම සාකච්ඡාවට එක් වූහ.