දරුවන් තුළ සදාචාරාත්මක වටිනාකම් ගොඩනැගීමට උපකාර කිරීම සඳහා The Way To Happiness පදනම ඉදිරිපත් වෙයි.

The Way To Happiness (TWTH) පදනම මගින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ව්‍යාපෘති ග්‍රාමීය තෝරාගත් පාසල් ආශ්‍රිතව තවත් ව්‍යාප්ත කරන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉල්ලා සිටියේය. දකුණු ආසියාවේ TWTH තානාපතිනි නසීමා කුරේෂි සඳුදා (26) කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අගමැතිතුමා හමුවූ අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
The Way To Happiness පදනම දැනට බස්නාහිර, මධ්‍යම සහ නැඟෙනහිර පළාත්වල තෝරාගත් පාසල්වල පාසල් දරුවන් තුළ සදාචාරාත්මක වටිනාකම් ඇති කිරීමට කටයුතු කරමින් සිටින බව කුරේෂි මහත්මිය පැහැදිලි කළාය.
The Way to Happiness පදනම යනු දරුවන් මෙන්ම වැඩිහිටියන් අතර සදාචාරාත්මක වටිනාකම් පිළිබඳ දැනුවත් කිරීම, අවංකභාවය ඇතිකිරීම අරමුණු කරගත් ලාභ නොලබන සංවිධානයකි. පාසල් සිසුන් අතර සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් මීට අදාළ පොත් බෙදා දෙමින් ඔවුන් මෙම දැනුවත් කිරිම සිදුකරයි. මෙම සංවිධානය රටවල් 165 ක ක්‍රියාත්මක වන අතර එම පොත භාෂා 117 කට පරිවර්තනය වී ඇති අතර ලොව වැඩියෙන්ම පරිවර්තනය වූ ග්‍රන්ථය ලෙස ගිනස් ලෝක වාර්තාව ද තබා ඇත.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, ශාන්තිනී කෝන්ගහගේ සහ TWTH පදනමේ මායා කළුබෝවිල යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.