අධිරාජ්‍යවාදීන් ශ්‍රී ලංකාවට කළ හානිය ගැන කටයුතු කිරීමක් මෙතෙක් සිදුවී නෑ..- අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

"බෞද්ධ කොමිෂන් සභා වාර්තා සහ උඩරට ගැමි පුනරුත්ථාපන කොමිෂන් සභාවේ වාර්තාවල, අධිරාජ්‍යවාදීන් ශ්‍රී ලංකාවට කළ හානිය ඉදිරිපත් කර ඇති බැවින්, මෙතෙක් සිදුවී නොමැති නමුත් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම විය යුතු වගකීමක්" බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

මහාචාර්ය සී. එම්. මද්දුමබණ්ඩාර මහතා රචිත, FREEDOM STRUGGLES OF SRI LANKA - Lessons Learned and the Way Forward (ශ්‍රී ලංකාවේ විමුක්ති අරගල - උගත හැකි පාඩම් සහ ජාතියේ ඉදිරි ගමන) යන ග්‍රන්ථය, 2023.02.01 දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පිරිනමනු ලැබූ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා ද මේ බව සදහන් කළේය.

මෙම කෘතිය, බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයට එරෙහිව 1818 ඌව තුළින් පැන නැඟි මහා අරගලය සිදු වී වසර 200 ක් පිරීම නිමිත්තෙන් නිමවූවක් වන අතර, අධිරාජ්‍යවාදීන් විසින් කරන ලද මර්දනය නිසා වසර 2000කට අධික කාලයක් ස්වාධීන රජයක් ලෙස පැවති ශ්‍රී ලංකාවේ නිදහස් කිරුළ අහිමි වූ ආකාරය පෙන්වා දෙයි. මේ නිසා මිනිස් සංහතියටම එරෙහිව සිදුකෙරුණු බිහිසුණු අපරාධ සඳහා වන්දි ගෙවිය යුතු යුතු බවට ප්‍රබල තර්කනයක් මෙම කෘතියෙන් ඉස්මතු කොට දක්වයි.

මහාචාර්ය මද්දුමබණ්ඩාරයන්ගේ මෙම කෘතිය තුළින් මෙතෙක් නොකෙරුන කාර්යයක් ආරම්භයක් සපයා ඇති බවත් නිදහසේ 75 වන සමරුව, 2023 වසර පුරා සැමරීමට කටයුතු සංවිධාන කරන බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

කෘතිය පිරිනැමීමේ අවස්ථාවට, පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි, පූජ්‍ය විටියල කවිධජ හිමි,ඇතුළු මහා සංඝරත්නය, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, නවීන් ගුණරත්න, නීතීඥ සේනක වීරරත්න, රේණුකා ඩී නාගොඩවිතාන, ක්ෂමේන්ද්‍ර තිලකසිරි, ධවල මුතුකුඩඅරච්චි, ගමික ගුණවර්ධන යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.