ඒකීය රාජ්‍ය හා මාතෘ භූමිය සුරකින අධිෂ්ඨාන පූජාව සහ සත්‍යක්‍රියාව කතරගම ඓතිහාසික කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් අභියසදී පැවැත්විණි

ඒකීය රාජ්‍ය හා මාතෘ භූමිය සුරකින අධිෂ්ඨාන පූජාව සහ සත්‍යක්‍රියාව අභිමානවත් 28 වන වසරටත් මහ සඟරුවන ප්‍රමුඛ ජාතික සංවිධානයන්හි ආශිර්වාදයෙන් මහජන එක්සත් පෙරමුණ ප්‍රධාන මහජන නියෝජිතයින් සහ පොදුජන සහභාගිත්වයෙන් 2022 සැප්තැම්බර් 04 ඉරිදා මහජන එක්සත් පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ මූලිකත්වයෙන් කතරගම ඓතිහාසික කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් අභියසදී පැවැත්විණි.

එහිදී අනුශාසනා කළ කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමි.
“අපි දන්නවා දිනේෂ් ගුණවර්ධන ගරු අග්‍රාමාත්‍යතුමන් ඉතාමත් දීර්ඝ කාලයක ඉදලා විශේෂයෙන් මහජන එක්සත් පෙරමුණ නගා සිටවූ කාලයේ ඉදලාම තුණුරුවන් පිලිබඳ ඉතාමත් ගෞරවයෙන් කටයුතු කරපු රටට මහා මෙහෙවරක් කළ කෙනෙක් විදිහටයි හැමදෙනා තුළම ජනාදරයට ඔබතුමා පත්වෙලා තිබෙන්නේ. ඔබතුමා මහජන එක්සත් පෙරමුණට නව ජීවයක් ලබා දීලා තිබෙනවා එදා මෙදා තුර මහජන එක්සත් පෙරමුණට රටේ දෙවනි නායකත්වය හිමි කර ගන්නට මේවන විට හැකිවී තිබෙනවා. රටේ ඉතාමත් අමාරු කාල පරිච්ඡේදයක වුවත් මේ වගකීම භාර අරගෙන රටට මෙහෙවරක් කරන්න ඕනේ ය කියන හැගීම ඇතිකරගෙන රට ගොඩ දාන්න ඕනෑය කියන හැගීම ඇතිකරගෙන මේ මහා භාරධුර කාර්යයට උර දීපු එක ඉතාම වටිනා දෙයක් හැටියට අපි අගය කරන්න ඕන. අපවත් වී වදාල අලුත්වැව සෝරත මහා නායක ස්වාමීන්වහන්සේ වැඩසිටි යුගයේ මේ පිංකමට බොහොම වුවමනාවෙන් සම්බන්ධ වුණා. බොහෝ දුර බැහැර හිටියත් ඇතැම් අවස්ථාවල අපිට මතකයි විදෙස් රටවලට වැඩම කර සිටි අවස්ථා වලදී පවා ඒ ගමන අතර මග නතර කර උන්වහන්සේ මේ අවස්ථාවට සම්බන්ධ වුණා. ඒ නිසා තමයි මොන රාජකාරි තිබුනත් අපි මේ අවස්ථාවට සම්බන්ධ වෙලා අපේ නායක ස්වාමීන් වහන්සේලාගේ මග යමින් ආශිර්වාද කරන්නට මේ ආකාරයෙන් කටයුතු කරන්නේ ඔබතුමා ආගම දහම පිළිබදව ස්වාමීන්වහන්සේලා පිළිබඳ තිබෙන ලෙංගතුකම නිසා තමයි මේ ගෞරවනීය නායක ස්වාමීන්වහන්සේලා මේ අවස්ථාවට වැඩම කරන්න කටයුතු කලේ. මේ රට නැවත ගොඩ ගන්න ජනතාව බලාපොරොත්තු වෙන තැනට රට ගොඩනගන්න ඔබතුමා රටේ දෙවැනි පුරවැසියා ලෙස අගමැති තනතුර දරන්න සුදුසු පුද්ගලයා ලෙස ඉදිරියට මේ රට ගොඩ නගන්න ශක්තිය ලැබේවායි කියලා ආශිර්වාද කරනවා.”

අනුශාසනා කළ කතරගම අභිනවාරාමාධිපති පූජ්‍ය කපුගම සරණතිස්ස හිමි

“දිනේෂ් ගුණවර්ධන මහතාගේ අපි දැකපු විශේෂත්වය තමයි එතුමා ආණ්ඩු පක්ෂයේ හිටියත් විපක්ෂයේ හිටියත් රටට, ජාතියට විපතක් වෙන අවස්ථාවක් නම් පවතින රජයට සහ රටට සහය දක්වමින් එතුමන් කරන කැප කිරීම. රට වෙනුවෙන් ජාති, ආගම්, පක්ෂ භේද ඉවතලා මෙවැනි කැපකිරීම් කරන්න ඉදිරිපත් වන්නේ එතුමන් සතු ජාතිහිතෛෂී භාවය නිසයි. මම හිතන්නේ මේ ගුණය එතුමාට ආවේ එතුමාගේ පියා වන පිලිප් ගුණවර්ධන මහතාගෙන් කියලයි. පිලිප් ගුණවර්ධන මහතා මේ රටේ නිදහස වෙනුවෙන් ජාතිය වෙනුවෙන් මහා කැපකිරීම් කරලා, හිර ගෙවල්වල ඉඳලා, ගුණවර්ධන පරම්පරාව එවැනි පරම්පරාවක්. වර්තමානයේත් මේ රට මහා ව්‍යසනයකට පත්වෙලා රට භාර ගන්න කිසි කෙනෙක් ඉදිරිපත් නොවන අවස්ථාවක ඔබතුමා ඉදිරිපත්වෙලා භාර ගත්තේ දෙකොණ නෙමෙයි හතර කොණ පත්තු වුණු විලක්කුවක්. ආර්ථික, දේශපාලන, සමාජ ඇතුළු සෑම අංශක්ම ව්‍යසනයකට පත්වෙලා තිබුණු මහා ගිණි ගොඩක් ඔබතුමා භාර ගත්තේ. බුදු දහමට අනුව අගමැතිතුමා සතු තාදී ගුණය එමගින් ඉස්මතු වුණා. යම් ප්‍රශ්නයක් ආවම එය දරාගැනීමට, මුහුණ දීමට ශක්තිය මෙතුමට තිබෙනවා. නින්දා අපහාස කොතරම් ආවත්, ජීවිත තර්ජන කොතරම් ආවත් ඔබතුමා මේ තනතුර භාර ගත්තේ පෞද්ගලික අභිමථාර්ථයක් වෙනුවෙන් නොවෙයි. මේ රටට ජනතාවට අසීමිත විපතක් වෙන්න ගිය, රට ලේ විලක් වෙන්න ගිය අවස්ථාවේයි ඔබතුමා මේ තනතුර භාර ගත්තේ. අන්න ඒ නිසයි ඔබතුමා අටලෝ දහමට කම්පා නොවන මහා ප්‍රභල චරිතයක් ⁣ලෙස අපි හඳුන්වන්නේ”.

ප්‍රතිඥාව ඉදිරිපත් කළ මහජන එක්සත් පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා.

“අපේ මුතුන් මිත්තන් පරපුරෙන් පරපුරට රැක දුන් මව්බිමේ ඒකීය රාජ්‍යයත්, භොමික අඛණ්ඩතාවයත්, ස්වෛරී ස්වාධීනත්වයත් අපගේ උරුමයන් සහ සම්පත් සුරැකීමට කැපවෙමු.
වසර දෙදහස් පන්සියයක් ඉක්මවා මහත් ගෞරවයෙන් හා අභිමානයෙන් සුරැක ජාතියට දායාද කරන ලද්දා වූ උතුම් බුද්ධ ශාසනයත්, මහා සංඝරත්නයත් ආරක්ෂා කොට සුරැකීමට හා චිරස්ථිය පිණිස කැපවෙමු.

ගහකොළ, සතා සිව්පාවා, ගංගා ඇළ දොළ, වැව් අමුණු, ජල මූලාශ්‍ර, වනාන්තර, අභය භූමිය ආදියෙන් සුපෝෂිත ස්වභාවික සම්පත ආරක්ෂා කොට, පුනර්ජනනීය බල ශක්තියෙන් පොහොසත් කොට, කාලගුණ විපර්යාසයන්ට මුහුණ දෙන අහරින් ස්වයංපෝෂිත පරිසර හිතකාමී දේශය බවට පත් කිරීමට ඇප කැප වෙමු.

රට ඒකඡත්‍ර කිරීමට පෙරමුණ ගත් රණවිරුවන් ආරක්ෂා කර එම පවුල්වල සුභසිද්ධිය ඇති කිරීමටත් කැපවෙමු. රටක සංස්කෘතියේ සභ්‍යත්වයේ දියුණුව වන්නේ එරට කාන්තාවන්ගේ ගෞරවය සහ ආරක්ෂාව සලසමින් අප රට තරුණ පරම්පරාව දැනුමෙන් ශක්තිමත් කරවන රටක් ගොඩ නැගීමටත්, අපේ රටේ උගතුන් බුද්ධිමතුන් වෘත්තිකයන් එකතු කරගනිමින් නව රැකියා හා ජීවන උපාය මාර්ග සහතික කරන අනාගතයක් උදා කිරීමට කැපවෙමු.

ප්‍රජාතන්ත්‍රවාදී සමාජය ශක්තිමත් කරමින් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයෙන් උත්තරීතර පාර්ලිමේන්තුව හා පළාත් පාලන ආයතන වෙත වැඩි බලතල ලබා දීමෙන් හා මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් ස්ථාපිත කිරීමටත් කැප වන අතර සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදයක් බිහි කරමු.

පවතින ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත් ගොවි ජනතාවද, වැඩකරන ජනතාව ද, දේශීය ව්‍යාපාරිකයන්, වියපත් දෙමාපිය ජනතාවද, යෞවනයන් ද, අපේ දරු පරම්පරාවද, ජීවන බරින් පෙළෙන ජනතාවගේ සුබ සිද්ධිය පිණිස දොරටු විවර කරන ගමින් ගමට නව උත්පාදනයන්ගෙන් පිරි වේගවත් ආර්ථික පුනර්ජීවනය උදෙසා කැපවෙමු.

සියලු රටවැසියා උතුම් මිනිස් ගුණ ධර්මයන් හි පිහිටා වෛරී හා පටු දේශපාලනය නිමා කර එක්සිත්ව ශ්‍රී ලංකාවට දරණීයවූත් තිරසාර වුත් දායාදයන් උදාකරමින් දේශාභිමානයෙන් යුතුව කටයුතු කිරීමට අධිෂ්ඨානයෙන් යුතුව කිරිවෙහෙර මෙම පූජා භූමියේදී සමස්ත ජාතියට ප්‍රතිඥා දෙමු”.

මෙම අවස්ථාවට කිරිවෙහෙර රාජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමි, කතරගම අභිනවාරාමාධිපති පූජ්‍ය කපුගම සරණතිස්ස හිමි, ශ්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ඕමාරේ කස්සප හිමි, වැඩිහිටිකන්ද රජමහා විහාරාධිපති පූජ්‍ය හීල්ලේ ඤාණානන්ද හිමි , නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, කෝට්ටේ නාග විහාරාධිපති පූජ්‍ය කොටහේනේ නාරද හිමි, සංඛපාල රජ මහා විහාරාධිකාරී පූජ්‍ය කොකාවල කෝසල හිමි, පූජ්‍ය තංගල්ලේ ගෝතම හිමි, පූජ්‍ය මාලේවන ධර්මවිජය හිමි, පූජ්‍ය මඩවලතැන්නේ ජිනරතන හිමි , පූජ්‍ය වගේගොඩ ශීලානන්ද හිමි ඇතුළු මහ සඟරුවන ද,

මහජන එක්සත් පෙරමුණේ ප්‍රධාන ලේකම් තිස්ස යාපා ජයවර්ධන, උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි, නියෝජ්‍ය ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමල් රාජපක්ෂ, විමලවීර දිසානායක, විජිත බේරුගොඩ, ශශින්ද්‍ර රාජපක්ෂ, අනුප පැස්කුවල්, චාමර සම්පත්, රෝහණ දිසානායක, ඇතුළු මහජන නියෝජිතයින්, ජාතික සංවිධාන නියෝජිතයින්, මහජන එක්සත් පෙරමුණේ සාමාජිකයින් රැසක් එක්විය.