නව ශ්‍රී ලංකා තානාපතිවරු හා අග්‍රාමාත්‍යවරයා අතර විශේෂ හමුවක්...

ආයෝජන ආකර්ශනය, අපනයන හා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කෙරෙන නව්‍ය රාජ්‍ය තාන්ත්‍රිකභාවයක වැදගත්කම අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරයි.

සාම්ප්‍රදායික රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමය වෙනුවට ආර්ථික රාජ්‍ය තාන්ත්‍රිකභාවයට ලොව ප්‍රමුඛතාවය හිමිව ඇතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

නව ශ්‍රී ලංකා තානාපතිවරුන් හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර අද (දෙසැ 26) අරලියගහ මන්දිරයේ පැවැති විශේෂ සාකච්චාවකදී ඒ මහතා මෙසේ පැවසීය. නව තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් 16 දෙනෙකු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

ආයෝජන ආකර්ෂණය කරගැනීම, අපනයනය හා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම මෙන්ම සියලු දෙනා සමඟ මිත්‍රශීලී, නොබැඳි මධ්‍යස්ථ රටක් බවට වූ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීම සඳහා කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍යවරයා නව තානාපතිවරුන්ට පැවසූහ.

රට හමුවේ ඇති ආර්ථික අර්බුදය හා ණය ප්‍රතිව්‍යුහගත කිරීම් පිළිබඳව අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා ආධාර සහ ණය මත යැපීමට වඩා නිෂ්පාදනය, අපනයනය සහ වේගවත් සංවර්ධනයක් ඇති කර ගැනීමට හැකි වන පරිදි ආයෝජන, හවුල් ව්‍යාපාර සහ ද්විපාර්ශ්වික හවුල්කාරිත්වයන් සඳහා කටයුතු කරන ලෙස ද ශ්‍රී ලංකා දූත මණ්ඩලවලින් ඉල්ලා සිටියේය.

වැඩි ආයෝජන, රැකියා අවස්ථා සහ සංවර්ධන ආධාර ලබා ගැනීම සඳහා විදේශගත ප්‍රජාව සහ ඔවුන්ගේ සංගම් සමඟ සමීප සහයෝගයෙන් කටයුතු කළ යුතුයි. ශීඝ්‍ර ආර්ථික ප්‍රකෘතියක් අත්කර ගනිමින් අහරින් ස්වයංපෝෂිතවීමට සහ කෘෂිකර්මය, කර්මාන්ත, තොරතුරු තාක්ෂණ සහ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට ශ්‍රී ලංකාව දරන උත්සාහයන් සමඟ මිත්‍ර ජාතීන්ට සහයෝගයෙන් කටයුතු කළ හැකි බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පිහිටුවන ලද ආයෝජන සහ අපනයන ප්‍රවර්ධන කමිටු සඳහා උපරිම සහයෝගය ලබා දෙන ලෙස ද අග්‍රාමාත්‍ය ගුණවර්ධන මහතා අවධාරණය කළේය.

මෙම අවස්ථාවට අභිනවයෙන් පත් වූ තානාපතිවරුන් වන හිටපු විදේශ ලේකම් චිත්‍රාංගනී වාගීස්වර (ඕස්ට්‍රේලියාව) , හිටපු විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ (ඉන්දුනීසියාව), මනීෂා ගුණසේකර (ප්‍රංශය), එච්.එම්.ජී.ආර්.ආර්.කේ. විජේරත්න මෙන්ඩිස් (බහරේන්), ආචාර්ය ඒ.එස්.යූ. මෙන්ඩිස් (වියට්නාමය), වරුණි මුතුකුමාරණ (ජර්මනිය), කපිල ජයවීර (ලෙබනනය), එම්.එච්.එම්.එන්. බණ්ඩාර (ඊශ්‍රායලය), කේ.කේ.තේෂාන්ත කුමාරසිරි (ඉතියෝපියාව), ආචාර්ය චානක එච්.තල්පහේවා (පිලිපීනය), ප්‍රියංගිකා විජේගුණසේකර (ජෝර්දානය), බී.කාන්දීපන් (කුවේට්), හිමාලි අරුණතිලක (ජිනීවා), උදය ඉන්ද්‍රරත්න (එක්සත් අරාබි එමිරේට්ස්) සහ එස්. සමරසිංහ (කොන්සල් ජනරාල්- මෙල්බර්න්) ඇතුළු පිරිසක් එක් වූහ.