G 20 කණ්ඩායමේ සභාපතිවරයාව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ලබාදුන් ප්‍රතිලාභ අසල්වැසි රටවලට ශක්තියක්." - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා.

"ශ්‍රී ලංකාවේ හරිත සංවර්ධන ක්‍රියාවලියට ඉන්දියාවේ උපරිම සහාය දෙනවා."-ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් භාග්ලේ මහතා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ආරාධනයෙන්, සීතාවක උද්භිද උද්‍යානයේ 2022.12.21 දින සංචාරයක යෙදුන ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භාග්ලේ මහතා ඉන්දියාවේ 75 වන නිදහස සමරමින් උද්‍යානයේ පැළයක් රෝපණය කළේය.
එහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා...

"ඉන්දු ශ්‍රී ලංකා මිත්‍රත්වය, වසර කීපයකට සීමාවූවක් නොවේ. එය ශතවර්ෂ ගණනාවක් ඈතට විහිදී ගිය එකක්. සෑම අවස්ථාවකදීම දෙරට අතර ද්විපාර්ශික සබඳතා වඩාත් ශක්තිමත් වූණා. මේ වසර වනවිට ඉන්දියාව ලෝකයේ බලවත්ම රාජ්‍යයක් බවට පත්ව තිබෙනවා. ඉන්දීය අගමැතිමෙන්ම ජී 20 කණ්ඩායමේ වත්මන් සභාපතිවරයා වන නරේන්ද්‍ර මෝදි මහතා යටතේ අසල්වැසි රාජ්‍යයන්ටද ප්‍රතිලාභ රැසක් ලැබී තිබෙනවා.

ලෝකයේ බලවත්ම රාජ්‍යයක මහ කොමසාරිස්වරයෙක් මෙම අවස්ථාවට සහභාගීවීම දෙරට අතර මිත්‍රත්වය තව තවත් ශක්තිමත් කිරීමක්. එනිසාම අද සීතාවක ජනතාවට ද සුවිශේෂී දිනයක්. පරිසරය එක් පරම්පරාවකට සීමා වූවක් නොවේ. ජෛව විවිධත්වයෙන් අනූන මෙවැනි උද්භිද උද්‍යාන රැක ගැනීම සියලු දෙනාගේ වගකීමයි. මෙරට නිදහස් සටනේ දී සීතාවක රාජධානිය සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළා.ඊට මෙම සුවිශේෂී පරිසරයේ ස්වභාවය ද බලපෑවා.
එහිදී අදහස් දැක් වූ ඉන්දියානු මහකොමසාරිස්වරයා...

"ශ්‍රී ලංකාවේ හරිත සංවර්ධන ක්‍රියාවලිය සඳහා ඉන්දියාවේ සහයෝගය හිමිවෙනවා. දෙරටේ සබඳතා ආර්ථික සහයෝගීතාවට පමණක් සීමා වී නැහැ. පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනේදී ශ්‍රී ලංකාවට ඉන්දියාවේ පූර්ණ සහයෝගය ලබා දෙනවා.

ස්වභාවික සම්පත් පරිසරයට හානියක් නොවන සේ සංවර්ධන ක්‍රියාවලියට යොදා ගැනීම ඉතා වැදගත්. ඉන්දියාවේ ශ්‍රේෂ්ඨ සබඳතා හා ඉතිහාසය සිහිපත් කිරීමටත්, එම ශ්‍රේෂ්ඨ සබඳතා ශක්තිමත් කළ අග්‍රාමාත්‍යවරයාගේ පියාවූ පිලිප් ගුණවර්ධන අමාත්‍යතුමා වැනි පුද්ගලයින් කෘතවේදීව මේ අවස්ථාවේ සිහිපත් කළ යුතුයි. අපගේ ආර්ථික හවුල්කාරිත්වය ප්‍රවර්ධණය කිරීම පමණක් නොව, දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කරන පරිසර හිතකාමී ප්‍රතිපත්ති නිර්මාණය කිරීම සඳහා දෙරට විසින් ගන්නා ඒකාබද්ධ ප්‍රයත්නයන් සමඟ අප කටයුතු කළ යුතුව තිබෙනවා."

පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, සීතාවක ප්‍රාදේශීය සභා සභාපති ජයන්ත රෝහණ, කොළඹ දිසාපති ප්‍රදීප් යසරත්න, සීතාවක උද්භිද උද්‍යානයේ අධ්‍යක්ෂ ආචාර්ය ශිරෝමී ක්‍රිෂ්ණරාජා ඇතුළු නිලධාරීන් ප්‍රදේශවාසීන් හා පාසල් දරුවන් මෙම අවස්ථාවට එක්විය.