වෘත්තීය පිළිබඳ අයිතිවාසිකම්, සංවිධානය වීම සහ කේවල් කිරීමේ බලය ද්වේෂ සහගත ඉල්ලීම් සදහා යොදාගැනීමෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හෑල්ලුවට පත්වෙනවා. -අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවෙන් පවරාගත් ඉඩම් ගැන සාධාරණ පියවරක් ගත යුතුව තිබෙනවා. - කතානායක මහින්ද යාපා අබේවර්ධන

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ 2023.03.17 දින මාතර දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේ පැවති ආහාර සුරක්ෂිතතාවය හා පෝෂණය සහතික කිරීම සඳහා ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබල ගැන්වීමේ බහු ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණය අලුත් ගමක්- අලුත් රටක් ජාතික ඒකාබද්ධ සහභාගිත්ව සංවර්ධන වැඩසටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීමට සහභාගී වූ අවස්ථාවේදීය.

එහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා -

අපේ රට මුහුන දුන් බරපතලම අර්බුදය ජය ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ආණ්ඩුව ප්‍රධාන ගැටලු දෙකකට පසුගිය කාලයේ මුහුණ දුන්නා. විදේශ විනිමය ලබා ගැනීමේ ගැටලුව ඉන් ප්‍රධානයි. අපේ රටේ විදෙස් විනිමය වැඩි කරගැනීම සඳහා රාජ්‍ය පුද්ගලික ග්‍රාමීය සෑම ඒකකයක්ම විශ්වාසය ජනිත කිරීම අවශ්‍යවුනා.

අපේ රට මූහුන දුන්න විදෙස් විනිමය අර්බුදය නිසා අපි එක පැත්තකින් විදෙස් විනිමය රැස් කිරීමේ මූලික පියවරක් ලෙස ආනයනය දැවැන්ත ලෙස සීමා කළා. පසුගිය කාළයේ ජාත්‍යන්තරව අපට බැංකු මඟින් ලැබෙන මූල්‍යමය පිළිගැනීම අහෝසි වී තිබුණා.

ගෝලීය වශයෙන් මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාවට උදව් කරන රටවල් රාශියකම ශක්තිය ලබා ගත්තේ මේ අරමුණෙන්. දුෂ්කරම අභියෝගය ජය ගැනීමේ ඉලක්කගත මාර්ගයක අපි ගමන් කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, අනිත් මිත්‍ර රටවල් වලට වගේම ඉන්දියාව සහ චීනය සුවිශේෂව මේ අර්බුදය වෙලාවේ අපට සහාය දැක්වූවා. ආධාර හෝ ණය ලැබුණට ජාත්‍යන්තර බැංකු ක්‍රියාත්මක වෙන්නේ නැහැ.

අපට තිබුණු තත්ත්වය මත අප බංකොලොත් රටක් බව අප ප්‍රකාශයට පත් කළා. එය ආර්ථික වශයෙන් කළ ප්‍රකාශයක්. මේ ‍අභියෝගය ජනාධිපතිතුමා සහ රජය ඒ වගේම ශක්තිය එක් කරපු සෑම ප්‍රජාවක්ම නිසා එක්තරා දුරකට වෙනස් වෙමින් පවතිනවා. මූල්‍ය අරමුදලෙහි ප්‍රකාශය නිකුත් වීමත් සමග ජාත්‍යන්තර මූල්‍ය සහාය ශ්‍රී ලංකාවට ගනුදෙනු කිරීමට හැකි විශ්වාසය ඇති වෙනවා ගනුදෙනු පටන් ගන්නවා. සාමාන්‍ය පරිදි ව්‍යාපාරික ප්‍රජාව සහ රාජ්‍ය ආයතන ආර්ථිකමය වශයෙන් ශක්තිමත්ව අපි යළි ස්ථාපිත කරගත යුතුයි.

මේ ඇති කළ ක්‍රියාවලිය සමඟ එක්වූ ග්‍රාමීය ජනතාවගේ සහයෝගයට අපි අපේ ගෞරවය පුද කරනවා. ගම අභියෝගය පිළිගත්තා. අපිට බැහැ කියන දේ ආපසු හරවන්න පුළුවන් බව මේ කාලපරිච්ඡේදය තුළ ඔප්පු කරා. ග්‍රාමීය ආර්ථික නිෂ්පාදනය සහ වැටුණු ගොවිතැන යළි නැගිට්ටා. මහ කන්නය සාර්ථක තත්වයට ගේන්න පුළුවන් වීම නිසා ශ්‍රී ලංකාවට ඒ අභියෝගය ජයග්‍රහණය කරන්න පුළුවන් බව හැම රටක්ම පිළිගත්තා. එය අපේ ගොවි ජනතාවට සුවිශේෂ ගෞරවයක්.

එහෙම නොතිබුණා නම් ආහාර අර්බුදය උත්සන්න වෙනවා. විදේශ විනිමය අර්බුදයක සිටින රටකට ආහාර අර්බුදයත් උත්සන්න වුණොත් එය බරපතලයි. මේ ඉදිරිපත් කරපු වැඩ පිළිවෙළේ ගෙවතු වගාවේ සිට මහා පරිමාණ අපනයන වගාව දක්වා ඉලක්කයට ගමන් කරන්නට පුළුවන්. වගා කළ හැකි සෑම භූමිභාගයක්ම වගාවට ලක් කළ යුතුයි. ආහාර සදහා කෙරෙන වගාව අපනයන වගාවක් බවට පරිවර්තනය වීම විශේෂයි.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා පනත ගෙනාවේ බණ්ඩාරනායක මැතිනියගේ කාලයේ අවුරුදු පනහකට කලින්. පාවිච්චි නොකරන ඉඩකඩම්, රජයේ දෙපාර්තමේන්තු සහ ආයතන භාවිතා නොකරන ඉඩම්, සංවර්ධනය, ආහාර සහ අපනයන වගාවට මෙන්ම කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනයට එකතු කර ගැනීම සඳහා රජය ප්‍රමුඛ තීරණයක් ගෙන තිබෙනවා. ඒ පිළිබඳ තොරතුරු ඉක්මනින් රැස්කර ආණ්ඩුකාරතුමාගේ සහයෝගය ඇතිව ඉඩම් ලබාදීමට අපේක්ෂා කරනවා.

මේ අර්බුදයෙන් එහාට අපට යන්න පුළුවන් කියලා විශ්වාසය ජනිතවන කාල පරිච්ඡේදයකයි අපි ඉන්නේ. ආහාර අහේනියකට අපි පත්වෙනවා, ආණ්ඩුවට මේක කරන්න බැහැ, කියලා විවිධ විවේචන තිබුණත් ඒ සියල්ල ආපසු හරවන්නට පුළුවන්කම ලැබුණා. සංචාරක ව්‍යාපාරය නිසා ලබන ආදායම අඩපණ වෙයි කියන එක, සංචාරකයෝ රට අත්හරි කියන කතාව අද බොරුවක් බවට පත්වෙලා තියනවා.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට පුළුවන් වුණා කොවිඩ් වසංගතය ජයගන්න. රටේ සෑම නිලධාරියෙක්ම ඊට සහයෝගය දුන්නා. අමතක කරන්න එපා. ලෝකයේ පෝසත්ම දියුණු රටවල් වල මිනිස්සු දහස් ගණනින් මැරී වැටෙද්දී ශ්‍රී ලංකාව එවැනි තත්ත්වයකින් බේරා ගන්න පුළුවන් වුණා. වසංගතය නිසා ආර්ථිකය අඩපණ වුණා. ජාත්‍යන්තර වෙළඳාම අඩපණ වුණා. පිටරටවලත් ආනයන සීමා කරන්න තීරණය කළා. ඒ ගෝලීය ආර්ථික අර්බුදයක් ඇති වෙලා තියෙන නිසායි.

ජාත්‍යන්තරව බැංකු සහ ප්‍රාන්ත වශයෙන් කුඩා කුඩා බැංකු අදත් අර්බුදයට ලක් වෙමින් තිබෙනවා. එක්සත් ජනපදය සහ ඇමරිකාව එහෙම බංකොලොත් භාවයට පත්වෙන්නේනැහැ. නමුත් යම් යම් ක්ෂෙත්‍ර වල ඇතිවන අර්බුදයන් සහ කළමනාකාරීත්වයේ දුර්වලතාවයන් නිසා ඇතිවන තත්ත්වයන් නිසා යම් යම් බැංකු කඩාවැටීම් සිද්ධ වෙමින් පවතින බව පෙනෙන්නට තිබෙනවා.

රාජ්‍ය ආදායම අපිට යන්තම් ප්‍රමාණවත් වෙන්නේ රජයේ සේවකයන්ට පඩි ගෙවන්න.

ඒ වගේම රජයේ විශ්‍රාම ගියපු අයගේ විශ්‍රාමය ගෙවන්න ඕනේ. මේ දෙකට අතිරේකව සමාජ ආධාර සඳහා කොටසක් හෝ ලබා දිය යුතුයි. ඊට වැඩිය ආදායමක් අපි ලබන්නේ නැහැ. ආදායමක් ලබන්නේ නැතුව රාජ්‍ය සේවය පවත්වාගෙන යාම, විශ්‍රාම ගිය අයට ඒ බැඳියාව ඉෂ්ට කිරීම රජය පසුගිය කාලය පුරා බොහොම අමාරුවෙන් හෝ ඉෂ්ට කරලා තියෙනවා.අමතක කරන්න එපා.

බදු වැඩිවීම නැවත සමාලෝචනයට ලක් කරන්න තියෙනවා. බදු වැඩිවීම තුළින් අලුත් ආදායම් එකතු කරගත යුතුයි. දැනට මේ අරගෙන තියෙන අමාරු ක්‍රියාවල් අපි ගත යුතුමයි.

අපි ඉන්ධන හදන රටක් නොවෙයි. අපි හැම ඉන්ධනයක්ම ගේන්නේ පිටරටින් රුපියල් වලින් ද නැහැ. ඊට විදේශ විනිමය අවශ්‍යයි. ඉන්ධන භාවිත වන ප්‍රමාණය එන්න එන්න වැඩි වෙනවා නම් අපි මේ ගනුදෙනුව කොහොමද බේරගන්න කියලා ලොකු ගැටලුවක් ඇතිවෙනවා.

රට මේ අර්බුදයෙන් ගොඩ ගන්න රජය ගෙන යන වැඩපිළිවෙළට සහාය දෙන්න රාජ්‍ය සේවයේ සියලු නිලධාරියෙම බැඳී සිටිනවා. සෑම නිලධාරියෙක් ම එලෙස බැඳී සිටින්නේ රාජ්‍ය සේවාව වගකීමක බැඳියාවක් නිසයි. රාජ්‍ය සේවාව ආරක්ෂා කළ යුතුයි. රජයේ සියලු වැඩපිළිවෙළ වලට නායකත්වය දෙන්නේ රාජ්‍ය සේවයයි. මේ පවතින අර්බුදයේ ස්වභාවය තේරුම්ගෙන පවතින ගැටළු එකින් එක විසඳා ගැනීමේ වැඩපිළිවෙළ සාර්ථක කරගන්න කැපවිය යුතුයි. විශේෂයෙන් සුභ සාධක සමීක්ෂණය වෙනුවෙන් දිසාපතිතුමාට ලබාදිය හැකි සෑම සහයෝගයක් ම රාජ්‍ය නිලධාරින් ලබාදිය යුතුයි.

රටේ ඉන්න අඩුම ආදායම්ලාභී කොටසට ආධාරයක් දෙන්න අපේ රාජ්‍ය නිලධාරීන් කැමති නැද්ද? ඒක ප්‍රතික්ෂේප කරනවා ද? මනුෂ්‍යත්වයේ නාමයෙන් හෝ ඒ බැඳියාව ඇතිකර ගත යුතුයි. රාජ්‍ය සේවයේ හැටියට කුමන ප්‍රශ්න තිබුණත් මනුෂ්‍යත්වයේ නාමයෙන් මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න උදවු විය යුතුයි. ජාත්‍යන්තර සහායෙන් මේ ජනතාවට යම් කිසි මුදල් ප්‍රමාණයක් වැඩිපුර ලබා දෙන්නයි අවශ්‍ය වෙන්නේ. ඒක අවුල් කරන්න එපා. අපි හදිසි නීතිය දාලා නැහැ. එහෙම නොකර ප්‍රජාතන්ත්‍රවාදීව අපේ රටේ රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම වැඩපිළිවෙළට ඔබේ සහයෝගය දෙන්න කියලයි.

අමාරුකම් කාටත් තියෙනවා. අපිටත් අමාරුකම් නැතුව නෙවෙයි.

වෘත්තීය පිළිබඳ තිබෙන අයිතිවාසිකම්, වෘත්තීය පිළිබඳ තිබෙන සංවිධානය වීමේ බලය, සංවිධානය වීම සහ කේවල් කිරීමේ බලය වෘත්තීය සදහා වූ ක්‍රියාදාමය වෙනුවෙන් භාවිතා කිරීමෙන් බාහිරව ගොස් ද්වේෂ සහගත ඉල්ලීම් සදහා කටයුතු කිරීමට යෑමෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හෑල්ලුවට පත්වෙනවා.

වෘත්තීය සමිති හැටියට තමන් බිහිවෙලා තිබෙන පදනම වෙනස්කරලා වගකීම් රහිතව කටයුතු කිරීම දක්කට ලැබෙනවා.

වෘත්තීය සමිති විවිධ පක්ෂ සමග සම්බන්ධයි. විවිධ පක්ෂ මගින් වෘත්තීය සමිති යොදවා කරන උද්ඝෝෂණ තියෙනවා. වෘත්තීය අයිතිය රැකීම, දියුණු කර කරගැනීම වඩා හොඳ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවට වෙනත් ගැටළු වලට අවතීරණ වෙනවා නම් එය රටේ දියුණුවට බාධාවක් වෙනවා.

අපිත් වෘත්තිය සමිති නියෝජනය කරන අය. අදත් වෘත්තිය සමිති සාමාජිකයන් වෙනුවෙන් ආණ්ඩුව ඇතුළෙදි අපි කතා කරනවා. ඒක ගැටළුවක් නැහැ. නමුත් වෘත්තීය අයිතිවාසිකම් වලින් බාහිරව ගමන් කිරීමෙන් විශ්වාසය ආරක්ෂා කරගන්න බැරි තත්ත්වයක් ඇතිවෙනවා.

මෙහිදී අදහස් දැක් වූ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා -

භාවිතයට නොගත් ඉඩම් රාශියක් රටේ තිබෙනවා. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවෙන් අපේ රටේ ඉඩම් මංකොල්ලකෑමක් සිදුකෙරේ කියලයි මම නම් කියන්නේ. ඒ ඉඩම් වලින් මේ කාලෙටම දියුණුවක් සිද්ධ වුණේ නැහැ. ඒවායේ තිබුණු ගස් ටික කපා ගත්තා. ඒවයේ තිබුණු වටිනා කියන දේවල් අරගෙන ගියා. ඒ අය තවමත් කියන්නේ පාඩුවට පවත්වාගෙන යනවා කියලයි. මේක වෙන්න බැරි වැඩක්. පාඩුවට පවත්වාගෙන ගියා කියල ඒ අය ඉඩම් අත අරින්නෙත් නැහැ. එම ඉඩම් තවදුරටත් ජනතාවට ප්‍රයෝජනයක් නැති ඉඩම් බවට පත්වෙනවා. ඒ නිසා ඒ ගැන සාධාරණ පියවරක් ගත යුතුව තිබෙනවා. මුළු ලංකාව පුරාම ඒ ගැටලුව අපට තිබෙනවා. ඒ තුළින් විශාල ඉඩම් සම්භාරයක් රටේ දියුණුවට යොමු කර ගන්න පුළුවන්. ඒවා නිරපරාදෙ නැති නාස්ති වෙලා ගිහිල්ලා. ප්‍රයෝජනයක් ගන්නෙත් නැහැ. ගන්න දෙන්නෙත් නැහැ. ඒ ඉඩම් නැවත අපි පවර ගන්නවා නම් ඇතිකරගත්ත ගිවිසුමේ හැටියට ඒ ඉඩම් වල වටිනාකම වගේ තුන් ගුණයක් විතර ගෙවල තමයි ගන්න වෙන්නේ. එතකොට වටින්නේ නැහැ. වැසිකිළියක් හදාගන්නවත් ඉඩමක් ඉල්ල ගන්න බැරි තත්වෙට අද පත්වෙලා තිබෙනවා. ඒ ගැනත් මුළු රටම කල්පනා කළ යුතු ප්‍රශ්නයක් හැටියට තමයි මම දකින්නේ.

දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ, රාජ්‍ය අමාත්‍යවරුන් වන අශෝක ප්‍රියන්ත, අනූප පැස්කුවල් මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කරුණාදාස කොඩිතුවක්කු, යදාමිණී ගුණවර්ධන රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න , ආහාර සුරක්ෂිතතා වැඩසටහන පිළීබඳ ජනාධිපති උපදේශක ආචාර්ය බී. එම්. එස් බටගොඩ, මාතර දිස්ත්‍රික් ලේකම් වයි.වික්‍රමසිරි සහ රාජ්‍ය නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය.