සයිමෝල් (Saemaul) පදනමේ ව්‍යාපෘති ග්‍රාමීය උන්නතිය සඳහා වැදගත්.. - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

සබරගමුව දිස්ත්‍රික්කයේ නියමු ව්‍යාපෘති දෙකක් සාර්ථකව ක්‍රියාත්මක කිරීමෙන් පසු ග්‍රාමීය යටිතල පහසුකම් සහ ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති පුළුල් ලෙස ව්‍යාප්ත කිරීම පිළිබඳව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කොරියාවේ සයිමෝල් පදනමට ස්තුතිය පුද කළේය. "මෙම ප්‍රයත්නයන් ග්‍රාමීය ආර්ථිකය නඟා සිටුවීම සඳහා අපගේ ගම්වාසීන්ගේ ගමන වේගවත් කිරීමට සමත් වී ඇත" යි, ඔහු පැවසීය.

සයිමෝල් පදනමේ සභාපති ලී සුන්ග් ජොන්ග් (Lee Seung Jong), ග්යොන් සැන්ග්බක්ඩෝ පළාතේ ආණ්ඩුකාර, කොරියානු ආධාර සපයන ආයතනයේ ප්‍රධානි මෙන්ම Gyambuk , චිත්‍ර හා සංස්කෘතික පදනමේ සභාපති කෝ යම් චෝල් සහ එම පදනම් හී ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් අද අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍යවරයා හමුවිය.

සයිමෝල් පදනමේ ව්‍යාපෘති ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමක් එම පදනම සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය අතර අත්සන් තබන ලදී. කෝ යම් චෝල් සහ අමාත්‍යාංශ ලේකම් කේ. ඩී. එන්. රංජිත් අශෝක විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් අබේසේකර විසින් අග්‍රාමාත්‍යවරයා සහ සයිමෝල් පදනමේ සභාපති ලී සුන්ග් ජොන්ග් මහතා ඉදිරියේ අරලියගහ මන්දිරයේ දී ඊට අත්සන් තබන ලදී.

කොරියාව සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කිරීමට Saemaul Undong නව ගම්මාන ව්‍යාපාරය සිදුකරන දැවැන්ත සේවය පිළිබඳව ප්‍රශංසා කළ අග්‍රාමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ ග්‍රාමීය සංවර්ධන සැලසුම් සඳහා ශ්‍රී ලංකාවට එහි අත්දැකීම් භාවිත කළ හැකි බව පැවසීය.

සයිමෝල් සභාපතිවරයා පැවසුවේ Saemaul Undong සඳහා වන ගෝලීය උනන්දුව සහ විදෙස් සංවර්ධන අනුග්‍රහයන් සැපයීමේ දී සංවර්ධනය වෙමින් පවතින රටවලට ග්‍රාමීය සංවර්ධනය සඳහා ආධාර ලබාදීමට කොරියානු රජය දක්වන උනන්දුව මත පදනම්ව, ශ්‍රී ලංකාවට ලබාදෙන සිය සහයෝගය පුළුල් කර ඇති බවයි.

මෙම ව්‍යාපෘති සමඟින් තවදුරටත් සයිමෝල් ව්‍යාපෘති ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කෙරෙන අතර ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන සැලැස්ම සඳහා උත්ප්‍රේරකයක් ලෙස ග්‍රාමීය ප්‍රජාවන් නඟා සිටුවීම, අනාගත ව්‍යාපෘති සඳහා සහයෝගීතාවය ලබාදීම පිළිබඳව ද ඔහු එහි දී වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, වැඩබලන කොරියානු තානාපති ජුන්ග් සොන්යී (Jung Sohnyee) සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු එක්ව සිටියහ.