අග්‍රාමාත්‍යවරයා ආසියානු සංවර්ධන බැංකුව සමග මෙරට අනාගත ව්‍යාපෘති පිළිබඳ සාකච්ඡා කරයි.

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ ජනරාල් කෙනිචි යොකොයමා සහ නව මෙරට අධ්‍යක්ෂ තකෆුමි කදොනෝ 2023.06.08 දින කොළඹ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය.

නව අධ්‍යක්ෂ ජනරාල්වරයා පිළිගනිමින් අග්‍රාමාත්‍යවරයා, කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදයේ උග්‍ර අවධියේදී ශ්‍රී ලංකාව වෙත ලබාදුන් සහයෝගය වෙනුවෙන් ධුරයෙන් නික්මයන අධ්‍යක්ෂ ජනරාල් චෙන් චෙන් මහතාට ස්තුතිය පුද කළේය.

ශ්‍රී ලාංකේය ආර්ථිකය මුහුණ දුන් පෙර නොවූ විරූ අර්බුදයෙන් කෙටි කාලයක් තුළ දී ගොඩ ඒමට ඉවහල් වූ කෙටි කාලීන, ක්ෂණික සහාය ලබා දීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයා ADB වෙත ස්තුතිය පළ කළේය. මෙරට මූල්‍ය අවකාශය සහ කාර්යක්ෂම රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පද්ධතිය වැඩිදියුණු කිරීම මෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශයට අවශ්‍ය මූල්‍ය ප්‍රවේශය ලබාදිම තුළින් ඒවා ශක්තිමත් කිරීම සඳහා ඩොලර් මිලියන 380 ක මුදලක් ADB ණය අරමුදල විසින් යොදවන ලදී.

ප්‍රාග්ධන වෙළෙඳපොළ සංවර්ධනය කිරීම සඳහා අයවැය ආධාර වශයෙන් තවත් ඩොලර් මිලියන 250ක් ලබා ගන්නා ලදී.

පොහොර, ඖෂධ සහ ජලය පිරිපහදු කිරීම සඳහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය වැනි අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා ප්‍රාග්ධන සහාය ලබාදීම සහ රටතුළ පැවති ආර්ථික අර්බුදයෙන් අඩු ආදායම්ලාභීන්ට සිදුවන බලපෑම අවම කිරීම සඳහා මුදල් සංසරණය වැඩි කිරීමට ADB වෙතින් ලබාගන්නා ඇමරිකානු ඩොලර් මිලියන 333 හදිසි ආධාර පිළිබඳව අග්‍රාමාත්‍යවරයා විශේෂ සඳහනක් කළේය.

කෙනිචි යොකොයමා මහතා, ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම අගය කළ අතර, ආර්ථික ප්‍රගතිය සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ADB හි මධ්‍ය කාලීන සහ දිගු කාලීන ව්‍යාපෘති පිළිබඳව අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළේය.

ආර්ථික ස්ථාවරත්වය සහ සමාජ ආරක්ෂණය වැඩි දියුණු කිරීම සඳහා වසර හතරක කාල රාමුවක් තුළ අනුග්‍රහය සැපයීමට ආසියානු සංවර්ධන බැංකුවේ සැලසුම් පිළිබඳව ඔහු පැහැදිලි කළේය. එමගින් ලැබෙන අනෙකුත් ආධාර අතර විශේෂ ප්‍රතිපත්ති මත පදනම් වූ ඇමරිකානු ඩොලර් මිලියන 350 ක ණයක් ක්‍රියාත්මක වෙමින් පවතී. IMF, ලෝක බැංකුව සහ අනෙකුත් සංවර්ධන හවුල්කරුවන් සමඟ සමීප සම්බන්ධීකරණයෙන් යුතුව ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර යටතේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සහ වර්ධනය සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ වසරින් වසර වේගවත් කරන බව ඔහු පැවසීය.

මෙම සාකච්ඡාවට අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, අතිරේක ලේකම් මහින්ද ගුණරත්න, මාධ්‍ය උපදේශක සුගීස්වර සේනාධිර, ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ උත්සව් කුමාර් යන මහත්වරු ද එක්ව සිටියහ.