වෙළඳාම සංචාරක සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම සඳහා අරාබි ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයක් පිහිටුවීමට ඊජිත්තුව ,අරාබි තානාපති වරුන්ගේ සංසදය සමග එක්ව කටයුතු කරන බව මෙරට ඊජිප්තු අරාබි ජනරජයේ තානාපති මැජට් මොස්ලේ මහතා පවසයි.

මෙරට ඊජිප්තු අරාබි ජනරජයේ තානාපති මැජට් මොස්ලේ මහතා 2023.04.28 දින පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය.

මෙම කවුන්සිලය පිහිටුවීමට අදාළව බලධාරීන් සහ වාණිජ මණ්ඩල සමග සාකච්ඡා කොට මූලික වැඩ කටයුතු සකස් කර ඇති බවද හෙතෙම සඳහන් කළේය.

විදේශීය ආයෝජන සඳහා දිරිගැන්වීම් රැසක් දැන් ලබාදී තිබෙන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

මෙරට අපනයන කර්මාන්ත කලාපවල කර්මාන්ත පිහිටුවීමේ ආයෝජන අවස්ථා පිළිබඳව සොයා බලන්නැයි අග්‍රාමාත්‍යවරයා විශේෂයෙන් තානාපතිවරයාගෙන් ඉල්ලීමක් කළ අතර ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තානාපතිවරයා දැනුවත් කළේය.

කෙටි කාලයක් තුළ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට රජය ගත් වේගවත් ක්‍රියාමාර්ග පිළිබඳව ඊජිත්තු තානාපතිවරයා සතුට පළ කළේය.

ආර්ථික අර්බුද වලට මුහුණ දී සිටින වෙනත් රටවලට ශ්‍රී ලංකාව වටිනා ආදර්ශයක් බව ද හෙතෙම අවධාරණය කළේය.

අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් හර්ශ විජේවර්ධන මහතාද මෙම අවස්ථාවට එක්විය.