"නිදහස මිල අධිකයි. ඒ සඳහා සිය දහස් ගණන් ජීවිත වලින් වන්දි ගෙව්වා."

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ 2023.02.17 දින, කොතලාවල විශ්වවිද්‍යාලයේ රණවිරු ස්මාරකය නිරාවරණය කිරීමේ අවස්ථාවට එක්වෙමිණි.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා ..
"අපේ මාතෘභූමිය දශක තුනකට වඩා වැඩි කාලයක් පැවති සිවිල් යුද්ධය නොයෙක් පීඩාවන්ට ගොදුරු වුණා. යුද්ධය රටේ සමාජ ආර්ථික දේශපාලන අර්බුද රාශියකට මඟ පෑදුවා. බියෙන් හා සැකෙන් ජීවත් වෙන්න සිද්ධ වුණා. අනපේක්ෂිත අවස්ථාවල ප්‍රහාරයන්ට ගොදුරු වුණා. ජන ජීවිතය අඩාල කළ ත්‍රස්තවාදය සැමට හිසරදයක් උනා. නමුත් කුරිරු ත්‍රස්තවාදය මුලිනුපුටා දමා රටට නිදහස දිනාදීමට ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බළකාය සහ අනිකුත් රණවිරුවන්ට හැකිවුණා. අප මාතෘ භූමිය නිදහසේ හුස්ම ගන්නේ ඒ වීරෝදාර උත්තම පරිත්‍යාගයක් නිසයි.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ඒ උදාර රණවිරුවන් වෙනුවෙන් නිරාවරණය කරන මෙම සුවිශේෂ රණවිරු අනුස්මරන ස්මාරකය මුළු ජාතියටම ආදර්ශයක්.

නිදහස මිල අධිකයි. ඒ සඳහා සිය දහස් ගණනක් ජීවිත වලින් වන්දි ගෙව්වා. විශාල වශයෙන් රටේ සම්පත් විනාශයට, පරිහානියට ලක් වුණා. රටේ ආදායම් උත්පාදන සෑම ක්ෂේත්‍රයකට ම වක්‍ර බලපෑම් ඇති කළා. සංවර්ධන වේගය අඩු කළා. මේ අක්කර ගණනාවක භූමිය ශ්‍රීමත් ජෝන් කොතලාවල අග්‍රාමාත්‍යවරයා එහි වටිනා සියල්ලම සමඟ එවකට ජනපති ජේ. ආර්. ජයවර්ධන මහතා ඉදිරියේ බාර දුන්නේ මේ සුවිශේෂ කේන්ද්‍රස්ථානය ඇති කිරීමටයි.

රජයට වැය බරක් ණයක් නොවන අයුරින් සිය පෞද්ගලික මුදලින් ම එදා මිලියන ගණනාවක තැන්පතුවක් සමග මෙහි පරමාර්ථය සාක්ෂාත් කර ගැනීම සඳහා තම ඥාතීන් දෙදෙනෙක් සාක්ෂිකරුවන් හා භාරකරුවන් හැටියටත් මේ වගකීම පවරපු බව සටහන් වී තිබෙනවා. එය ගෞරවයෙන් සිහිපත් කරනවා.

අපේ ජනරජයට, අපේ රාජ්‍යයට, අපේ රටට අවංකව කැප වුණු දකුණු ආසියාවේ විශිෂ්ටම ගුණාංගයන්ගෙන් සෝභමාන වූ හමුදා නිලධාරීන් බිහි කිරීමට පමණක් පරමාර්ථ වූ මිලිටරි ඇකඩමියක් එදා මේ ස්ථානයේ බිහි කරන්නට ආරම්භ වුණා. ඒ බෙදුම්වාදී ත්‍රස්තවාදය පටන් ගන්නත් පෙරයි. ත්‍රස්තවාදී යුද්ධ කාල පරිච්ඡේදය තුළ පවා මේ විද්‍යායතනය දියුණු කරන්න කැපවී කටයුතු කළා. සිය රට වෙත උත්තම පරිත්‍යාගයක් සිදුකළ ලක් මවගේ ඒ අභීත දූපුතුන් රට ආරක්ෂා කළා පමණක් නොවේ. රටේ සියලු ජනතාව වෙත මහත් මානුෂීය ගුණධර්ම වලින් පෝසත් හදවත් ඇති නිලයන් දැරූ පිරිසක් දැයට දායාද කලා.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්යාලයේ විවිධ ක්ෂේත්‍රයන් යටතේ උසස් අධ්‍යාපනය හැදෑරූ හමුදා නිලධාරීන් මාතෘ භූමියේ උස් නිදහස උදෙසා සතුරාට එරෙහිව අභීතව සටන් කර අභිමානවත් කැපවීම් කලා. උපන්බිමට තම යුතුකම ඉටු කරන්න කිසි විටෙකත් පසුබට වුණේ නැහැ. ඒ වෙනුවෙන් තම ජීවිත පරිත්‍යාග කළා. තම ජීවිත හරියාකාරව පවත්වාගෙන යන්නට බැරි අසනීප තත්ත්වයන්ගෙන් පෙළෙන්නන් අදත් සිටිනවා. ඔවුන්ට මේ අවස්ථාවේ දී යළිත් අපගේ ආචාරය පුද කරමු. විශේෂයෙන්ම සටනේ දී රට වෙනුවෙන් දිවිපිදූ ඒ අභීත රණවිරුවන්ගේ වීරත්වය කෘතවේදීත්වය සිහිපත් කිරීමේ අපගේ පරම යුතුකමක්. නිරාවරණය කරනු ලැබූ රණවිරු ස්මාරකය අපේ කෘතවේදී බවයේ හා උදාරත්වයේ තවත් පිටුවක් ලෙස හදුන්වන්න පුළුවන්.

මේ සභාවේ සිටින රණවිරුවන් ගේ වීර මවුවරුනට, වීර පියවරුන්, දූ දරුවන්ට, රටේ සියලු ජනතාව වෙනුවෙන් ජාතියේ ප්‍රනාමය පුද කිරීමට යළි මේ අවස්ථාව භාවිතා කරනවා. ඔබගේ දරුවන්, ඔබ දායාද කළ රණවිරුවන් ජීවිතය නොමැති වුවත් ඔවුන් අපටත් අනාගත පරපුටත් රටක් දායද කළ පිරිසක්. පරාර්ථකාමී හදවත් ඇති ඒ සුන්දර මිනිසුන් ගේ ජීවිත පරිත්‍යාගය අප නිරන්තරයෙන් ම සිහිපත් කරන්නේ මහත් ආඩම්බරයෙන් හා අභිමානයෙන්.

ජාතියේ නිදහස උදෙසා දිවි දුන් වීරයන්ගේ කතාපුවත් ලක් ඉතිහාසය පුරාම විහිදෙනවා. අපේ රටේ නිදහස් සටනට එය උරුමකම් කියනවා. දහස් ගණන් විරුවන් ප්‍රෞඩ ජාතික අභිමානයකින් ඒ ක්‍රියාවන්වල කටයුතු කළා. මෑතකාලීනව දශක තුනක කුරිරු ත්‍රස්තවාදී බෙදුම්වාදී යුද්ධය නිමා කර රට ත්‍රස්තවාදයෙන් මුදාගත් ආරක්ෂක සේවාවන් ඉටු කර ඇත්තේ අපේ රටට නිදහස පමණක් නොව ත්‍රස්තවාදීන්ගේ හිරගෙවල් වල ගොදුරු වී සිටි දහස් ගණන් අය රට පුරාම තමන්ගේ නිදහස භුක්ති විඳින උදාර අවස්ථාවකට කියන ටික රන් අකුරින් ලියවෙනවා.

මම එක උදාහරණයක් මේ අවස්ථාවේදී සිහිපත් කරන්න කැමතියි. ලොවක් දැක්ක, රටක් දැක්ක, ඔබත් අපිත් දැක්ක ඒ ජයග්‍රහණයේ අවස්ථාවේදී මහා ජල තීරය හරහා අපේ ආරක්ෂාව සඳහා පැමිණි දස දහස් ගණන් පුරවැසියන් තමන්ගේ කරෙන් ඔසවාගෙන ගමන් කළ ඒ ත්‍රිවිධ හමුදාවන්ගේ වීරත්වය පමණක් නොව මානුෂීයත්වය උදාරත්වය ඉතිහාසයේ සුවිශේෂ වගන්තියක් ඉටු වෙනවාට සැකයක් නැහැ.
රටක් ලෙස කලාපයේ ඉහළම තැනක අපි මේ අවස්ථාවේ වැජඹෙනවා. ඒ තුළින් පිළිබිඹු වන්නේ නිදහසෙන් පසුව සෑම රජයක්ම අධ්‍යාපනයට ඉහළ ප්‍රමුඛත්වයක් ලබා දුන් බවයි.

අධ්‍යාපනයෙන් රටට සෑම දරුවෙකුටම සම අවස්ථා සැලසීම කෙරෙහි ඉහළ ප්‍රමුඛත්වයක් ලබාදී ක්‍රියා කරනවා. එය රට මෙහෙයවන ඕනෑම රජයක වගකීම වනවා ඇති. පොත පත දැනුමට පමණක් අධ්‍යාපනය සීමා කළ යුතු නැහැ. ආකල්ප හා කුසලතා සමබර සංවර්ධනය කර ගැනීම තුළින් ජීවිතයේ දිනා ගැනීමට සෑම දරුවෙක්ට ම කියා දීම වැඩිහිටියන් ලෙස අප කාගේත් වගකීමක් වනු ඇත.
ආකල්ප සංවර්ධනය තුළින් දරුවන් තුළ විශාල වෙනසක් ඇති කරන්න පුළුවන් බවත් ධනාත්මක ආකල්ප කුඩා කල සිටම කාවැද්දීමේ තවත් කේන්ද්‍රස්ථානයක් බවට මෙම කේන්ද්‍රස්ථානය අද පත්වී තිබෙනවා. කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ඒ සඳහා සමාජයට හොඳ මාර්ග ශක්තියක් ලබා දී තිබෙනවා. ආරක්ෂක විශ්ව විද්‍යාලයක් ලෙස උපාධි අපේක්ෂකයන්ගේ පෞරුෂවර්ධනය තුළින් නායකත්ව කුසලතා වර්ධනය කර ගැනීමට හොඳ අවස්ථාවක්. ශ්‍රී ලංකාව මේ හැත්තෑපස් වන නිදහස් දිනේ සමරන අවස්ථාවේදී ප්‍රකාශ කළ ලෙස ආසියාවේ දැනුම් කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමේ අපේ දීර්ඝකාලීන ජාතික අභිලාෂයයි.

ත්‍රිවිද හමුදාව සඳහා ආරක්ෂක විශ්ව විද්‍යාලයක් පිහිටුවීමේ එක් අභිමතයක් වූයේද, ඊට අතිරේකව යුද නාවික ගුවන් ක්ෂේත්‍ර තුනේ නිලධාරීන්ට ආයතනයක් තුළ අධ්‍යාපනයේ දැනුම පුහුණුව ලබා දීමෙන් ඔවුන් එකිනෙකා තුළ සහෝදරත්වය බැඳියාව ශක්තිමත් කිරීම අරමුණක්.

සාමය ස්ථාපිත කිරීමෙන් පසු අනේවාසික සිසුදරුවන් පොලිස් නිලධාරීන් ත්‍රිවිධ හමුදා කැඩෙට් නිලධාරීන් එක්ව ඉගැන්වීමට සැලසීමෙන් එකිනෙකා කෙරෙහි පූර්ණ අවබෝධයක් ලබා ගැනීමට ද අවස්ථාව සලසා දී තිබෙනවා.රට අභ්‍යන්තරය තුල සාමය සහජීවනය ඇති කිරීමට එය කදිම ආයෝජනයක්. ජාතික ආර්ථිකයට වැය බරක් නොවී උගත් තරුණ පිරිසකට උසස් අධ්‍යාපන අවකාශය ලබා දෙන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ඉටුකරන වැදගත් සහ කීර්තිමත් ආදර්ශමත්.

මාතෘභූමිය වෙනුවෙන් සිය ජීවිතය කැප කළ රණවිරුවන්ගෙ යශෝරාවය ඉමහත් ගෞරවයෙන් සහ ආදරයෙන් සිහිපත් කරමි.

මෙම අවස්ථාවට කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ කුලපති ශාන්ත කෝට්ටේගොඩ, ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා,ත්‍රිවිධ හමුදාපතිවරුන්, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති මේජර් ජනරාල් මිලින්ද පීරිස්, ඇතුළු මව්බිම වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ගේ පවුල් වල ඥාතිවරුන් දූ දරුවන් ආදී විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.