උරුමය රැකගෙන ජීවිතවලට ශක්තියක් එකතු කිරීමට මහපොළොව සූදානම්. නීති රීති වල තිබෙන වාද විවාද වලට කාලය ගත කරන්න තවදුරටත් ඉඩක් නැහැ. රජයේ වගා සංග්‍රාමයේ ආයුර්වේදයට අවශ්‍ය වගාවන් අන්තර් ගත විය යුතුයි. -අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

මහ පොළොවේ හරය, උරුමය රැකගෙන මනුෂ්‍ය ජීවිතවලට ශක්තියක් එකතු කිරීමට ශ්‍රී ලාංකීක ආයුර්වේදය ලොව පුරා ව්‍යාප්ත කළ යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දහනම වැනි සංවත්සරය 2022.11.11 දින කොළඹ දී පැවති අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ ‍ නීති රීති වල තිබෙන වාද විවාද වලට කාලය ගත කිරීමට තවදුරටත් ඉඩක් නොමැති බවයි.

මෙරට ආයුර්වේදය ලොව පුරා ප්‍රසිද්ධ නමුත් රටට විදේශ විනිමය උපයා ගැනීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් නොපැවතීම කණගාටුදායක තත්වයකි. මේ සඳහා යාබද රටවල ක්‍රියාත්මක කරන වැඩසටහන් පිළිබඳ අභාශය ගෙන දේශීය ආයුර්වේද මධ්‍යස්ථාන රට පුරා මෙන්ම ලොව පුරා විවෘත කිරීමට කඩිනම් පියවර ගැනීම විදේශ විනිමය අර්බුදයට එක් විසඳුමක් වනු ඇත.

දැනට ආයුර්වේද උපාධිය සම්පූර්ණ කළ සැමදෙනාට සක්‍රීය ලෙස මෙම ජාතික කර්තව්‍යයට එක් වන ලෙස අග්‍රාමාත්‍ය වරයා මෙහිදී ආරාධනා කරනු ලැබීය. ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රය මෙරට වෛද්‍ය ක්ෂේත්‍රයේ කොඳු නාරටියයි. ආයුර්වේද ක්ෂේත්‍රය විශ්වවිද්‍යාලය දක්වා ගෙනයාමට රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිදුකළ මෙහෙය අගය කළ යුතුයි. සෞඛ්‍ය ක්ෂේත්‍රය එක වෛද්‍ය ක්‍රමයකට සීමා වන්නේ නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා ඊට ඉඩකඩ දොරටු විවෘත කළා. අප පසුගිය කාලයේ විවිධ කාල පරිච්ඡේදයන් පසු කලා. වර්තමානයේ අර්බුදයක් පසු කරමින් සිටිනවා. මේ කිසි දෙයක් අනාගතයට යා යුතු නැහැ.

ආහාර සුරක්ෂිතතාවයට රෝග නිවාරණයට රෝග වැළැක්වීමට ඵලදායි වැඩසටහනක් මේ වෙනකොට රජය ක්‍රියාත්මක කර තිබෙනවා. වගා කටයුතු වලට භූමිය නිදහස් කරන්න මේ වෙනකොටත් රජය තීරණය කර තිබෙනවා. අක්කර ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ඉදිරි මාස කිහිපය තුළ තුළ වගාවන් සඳහා නිදහස් කෙරෙනවා. ඉඩම් වල ආයුර්වේදයට අවශ්‍ය වගාවන් අන්තර් ගත විය යුතු බවට රජය පැහැදිලිව තීරණයක් අරගෙන තිබෙනවා.

දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, ආයුර්වේද කොමසාරිස් කේ.ඩී.සී කුමාරණතුංග, ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථා සභාපති සාගලා අබේවික්‍රම යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට එක්විය.