"සමුපකාර ව්‍යාපාරය මරන්න එපා" අග්‍රාමාත්‍යවරයා ආණ්ඩුකාරවරුන්ට කියයි.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේ, පළාත් ආණ්ඩුකාරවරු සමග පසුගියදා, කොළඹ අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය.

"සෑම පලාත් සභාවකම තොරතුරු සාක්ෂි ඔප්පු කරනවා සමුපකාර ව්‍යාපාරය මැරීගෙන යන ව්‍යාපාරයක් වෙලා. රාජ්‍ය නිලධාරීන් නෙමෙයි සමූපකාර වල ඉන්නේ. ග්‍රාමීය සාමාජිකයො. ඔවුන්ට නිලධාරීන් ශක්තියක් දෙන්න ඕන. සමහර ඒවා නිෂ්පාදන සමිති. සමහර ඒවා වෙළඳ බෙදාහැරීමේ සමිති. සමුපකාර ව්‍යාපාරය ලංකාවේ ග්‍රාමීය ආර්ථිකය ගොඩනගපු යෝධයා. යළි යළිත් සමුපකාර ව්‍යාපාරයේ නැගීම සඳහා අපි හඳුනාගෙන ඇති පුනර්ජීවනය කිරීමේ වැදගත් කොටස් සක්‍රිය කරන්න ඕනේ. සමුපකාර කොමසාරිස්වරුන් ඇතුලු සෑම නිලධාරියෙක්ටම කියන්න වහාම ලෑස්ති වෙන්න කියන්න වැඩ කරන්න. නීතිය ක්‍රියාත්මක කරන්න කලින් මේ ව්‍යාපාරය වැදගත් වෙනවා. නිෂ්පාදන සහ බෙදාහැරීම් දාමය ශක්තිමත් කරන්නට. කලක් ග්‍රාමීය ආර්ථිකයේ හදවත් ව්‍යාපාරයක් වූ සමුපකාර ව්‍යාපාරයට හැකි පමණ හුස්ම දෙන්න හදනවා මිස මරා දමන්නට උදව් කරන්න එපා ."

අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නෙ,
දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ, ඌව පළාත ආණ්ඩුකාර ඒ.ජේ. මුසම්මිල්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක, වයඹ පළාත් ආණ්ඩුකාර වසන්ත කරන්නාගොඩ, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ, උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, ඇතුළු පළාත් ලේකම්වරු සහ නිලධාරීන් මෙම අවස්ථාවට එක්විය.