දුෂ්කර කාලය ආපස්සට තල්ලු කළේ ඔබ අපගේ කැපවීම සහ රජයේ ස්ථාවර ප්‍රතිපත්තියයි.... -අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ 2023.04.18 දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති පොල් පැළ බෙදාදීමේ උත්සවයේදීය.

මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාමසේවා වසම් 41 ක පිහිටුවා ඇති ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කමිටු සඳහා පොල් පැළ දහසක් බෙදාදීම මෙහිදී සිදු කළ අතර ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන ගෙවතු වගා වැඩසටහනට අයත් වූ පූජනීය ස්ථාන, වැඩිහිටි නිවාස, පාසල්, රජයේ ආයතන සහ නිවාස වල කරන ලද ගෙවතු වැඩසටහන් ඇගැයීමට ලක්කර හොඳම ගෙවතු 17 තෝරාගෙන ඒ සඳහා සහතික පත්‍ර බෙදා දීම සිදුකෙරිණි.

අප හමුවේ තිබෙන අභියෝගය ජය ගැනීම සඳහා උත්සාහවන්තව එක් විය යුතු බවත් මෙම වැඩසටහන ව්‍යාප්ත කිරීමට රජයේ නිලධාරීන්ගේ සහය අත්‍යවශය බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

පසුගිය වසරේ අර්බුදකාරී ලෙස ගතකළ කාලය ආපස්සට තල්ලු කළේ ඔබ අපගේ කැපවීම සහ රජයේ ස්ථාවර ප්‍රතිපත්තියයි. ඉවසීම රටේ ජනයා ලබාදුන් උපරිම කැපවීමයි.

දුෂ්කර කාල පරිච්ඡේදයෙන් ඔබ්බට තිබෙන විශ්වාසනීය අනාගතය වෙනුවෙන් මේ මොහොතේ පැළයක් රෝපණය කිරීම අනාගත පරම්පරාව සුරක්ෂිත කිරීම සඳහා සුවිෂේශී වනු ඇති බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ.ජී.විජේසිරි, මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල සහ රාජ්‍ය නිලධාරීන් මෙම අවස්ථාවට එක්විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය.