"මෙතෙක් ශ්‍රී ලංකාවට ලබා දී තිබු ඩොලර් මිලියන 40 ක ආහාර ආධාරයන් ට අමතරව, තවත් ඩොලර් මිලියන 20 ක ආහාර ආධාර ලබා දීමට කටයුතු කරන බව ලෝක ආහාර වැඩසටහනේ නියෝජිතයින් පවසයි."

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හා ලෝක ආහාර වැඩසටහනේ ආසියානු හා පැසිපික් කලාපීය අධ්‍යක්ෂක ජෝන් අයිලීෆ් මහතා ඇතුළු නියෝජිතයින් අතර හමුවක් 2022.09.01 දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදුවිය.
මෙහිදී ලෝක ආහාර වැඩසටහන ශ්‍රී ලංකාවට ලබාදෙන ආධාර වැඩි කිරීමට කැමැත්ත පළකලේය.
ගැබිනි සහ කිරිදෙන මව්වරුන්, දරුවන් වෙනුවෙන් පෝෂ්‍යදායී ආහාර සැපයීම සඳහා අමතර අනුග්‍රහයක් ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කරන ලද ඉල්ලීමට ලෝක ආහාර වැඩසටහන (WFP) සිය කැමැත්ත පළ කළේය. ලෝක ආහාර වැඩසටහන සහ ශ්‍රී ලංකා රජය අතර පවත්වාගෙන යන මනා හවුල්කාරිත්වය ඔවුන්ගේ ඒකාබද්ධ වැඩසටහන් වන පාසල් ළමුන් සඳහා දිවා ආහාරය ලබා දීම සහ ත්‍රිපෝෂ වැනි වැඩසටහන් සඳහා බෙහෙවින් ඉවහල් වන බවත් එම වැඩසටහන් අනෙකුත් රටවලට කදිම උදාහරණ සපයන බවත් ඔවුහු පැවසීය.
රටක සංවර්ධනය සඳහා සෞඛ්‍ය සම්පන්න ප්‍රජාවක වැදගත්කම පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා, දිවයිනේ ගෘහාශ්‍රිත කර්මාන්ත සහ කුඩා පරිමාණ ධීවර කර්මාන්තය දියුණු කිරීම සඳහා ආධාර වැඩි කිරීමේ හැකියාව සොයා බලන ලෙස වැඩි දුරටත් ඉල්ලා සිටියේය.
මෙම දුෂ්කර කාලයේ දී ශ්‍රී ලංකාවට ලබාදෙන ප්‍රදාන ඇමරිකානු ඩොලර් මිලියන 20 කින් වැඩි කරන බව කලාපීය අධ්‍යක්ෂවරයා පැවසුවේය. ඒ අනුව සමස්ත ආධාර, ඇමරිකානු ඩොලර් මිලියන 60 දක්වා ඉහළ යනු ඇත.
මෙම අවස්ථාවට ලෝක ආහාර වැඩසටහනේ නියෝජිත අබ්දුර් රහීම් සිද්ධික්, රජයේ පාර්ශවකාර නිලධාරි මුස්තාෆා නිහ්මත්, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක සහ අතිරේක ලේකම් හර්ෂ විජේවර්ධන යන අය සහභාගී විය.