තෛපොංගල් පණිවිඩය

අස්වැන්නේ මංගල්‍යය වන තෛපොංගල් උත්සවය කෘෂිකර්මාන්තය සහ ස්වභාවධර්මය සමග බැඳී සාම්ප්‍රදායික ජීවන රටාව කෙරෙහි විශ්වාසයෙන් සහෝදර දමිළ ගොවී ජනතාව විසින් සරු අස්වැන්නක් ලබාගැනීම උදෙසා සූර්යයාට කෘතඥතාව දැක්වීමයි.
ජාතික සංස්කෘතියේ අංගයක් බවට පත් තෛපොංගල් උත්සවය, සාමය, එකමුතුව, දයාව මූලික වූ සාරධර්මයන් මූර්තිමත් කිරීමට මෙන්ම, කෘෂිකාර්මික අර්ථ රටාවකට උරුමකම් කියන අප වත්මන් තත්ත්වයන් හමුවේ ක්‍රියාත්මක කරන ආහාර සුරක්ෂිතතා සහ ග්‍රාමීය පුනර්ජීවනය සඳහා වන සක්‍රීය සංකල්පයට උත්තේජනයක් වනු ඇතැයි විශ්වාස කරමි.
හින්දු සංස්කෘතියේ විශිෂ්ඨත්වය විදහා දක්වන මෙම මංගල්‍යය, ස්වභාවධර්මයට අනුගතව ජීවත්වීමටත්, හින්දු සංස්කෘතිය අනුව අපේක්ෂාවන් ඉටු වන නව වසරක උදාව සනිටුහන් කිරීමෙන් තෛපොංගල් උත්සවය සමරන ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා වෙසෙන ජනතාවට සුබ පැතුම් එක්කරමි.


දිනේෂ් ගුණවර්ධන
අග්‍රාමාත්‍ය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
2023.01.13

Download Release