“හැකි සෑම අයුරකින්ම ශ්‍රී ලංකාවට සහාය දීමට අපි සුදානම්“ – ඉන්දීය විදේශ අමාත්‍ය ජයශංකර් අග්‍රාමාත්‍යවරයාට සහතික වෙයි.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා අතර “ද්වීපාර්ශ්වික සබඳතා, ඒකාබද්ධ ව්‍යාපෘති සහ ශ්‍රී ලංකාවට ලබාදෙන ඉන්දියානු සහාය” පිළිබඳ සාකච්ඡාවක් අද (2023.01.20) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාව සඳහා යෝජිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් (IMF) පැකේජයට ඉන්දියාව පූර්ණ සහයෝගය ලබා දෙන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහතික වීම පිළිබඳව මෙහිදී අග්‍රාමාත්‍යවරයා ඉන්දියාවට සිය ස්තූතිය පළ කළේය.

ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදලක් ලබාදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය හිමි රටවලින් එවැනි සහතිකයක් බලාපොරොත්තු විය.

පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ආරම්භ වූ අවස්ථාවේදී ණය ප්‍රතිසංවිධානය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 4 ක් ලබාදීම සහ විශ්වාසවන්ත සහ සමීප මිතුරෙකු ලෙස අඛණ්ඩව ලබා දෙන ආධාර සහ සහයෝගය පිළිබඳව ද අග්‍රාමාත්‍යවරයා ඉන්දියාවට ස්තූති කළේය.
"ශ්‍රී ලංකාව මෙම ආර්ථික අර්බුදයෙන් ඉක්මනින් ගොඩඑනු ඇතැයි අපට විශ්වාසයි. ඉදිරි කටයුතු සාර්ථක කරගැනීමට හැකි සෑම ආකාරයකින්ම අපි ඔබට සහාය වන්නෙමු" යැයි අමාත්‍ය ජයශංකර් අග්‍රාමාත්‍යවරයාට සහතික විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදුකරන වත්මන් ගනුදෙණු මගින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වෙනසක් ඇතිකොට, අතිරේක මූල්‍ය පහසුකම් ලබාගැනීමට හැකිවන අයුරින් ශ්‍රී ලංකාවට වඩාත් තිරසර මූල්‍ය කළමනාකාරිත්වයේ මාවතකට පිවිසීමට හැකි වනු ඇතැයි ඉන්දියාව විශ්වාසකරන බවත් ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යවරයා පැවසීය.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර යෝජිත විදුලි ජාල සම්බන්ධතාව පිළිබඳව අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය ගුණවර්ධන මහතා සදහන් කළේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ඉන්දීය ආයෝජන සිදුකරන ලෙසයි. "ශ්‍රී ලංකාව සුලං සහ හිරු රශ්මිය බහුලව පවතින රටක් වන බැවින් එවැනි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා විශාල හැකියාවක් ඇත" යි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ජයශංකර් මහතා සදහන් කළේය.

ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් මිලියන 4.2 ක් සඳහා පාසල් පෙළපොත් මිලියන 19 ක් මුද්‍රණය කිරීමට ඉන්දියානු සහාය ලබාදීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සිය ස්තූතිය පුද කළේය. ශ්‍රී ලංකාවේ ඉන්දියානු තාක්ෂණ ආයතන සහ විශ්ව විද්‍යාල සමඟ සමීප සබඳතා ඇති කර ගැනීම සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාව පුළුල් කරන ලෙස ද ඔහු ඉන්දිය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.
පොදු ප්‍රවාහනය වැඩිදියුණු කිරීම සඳහා වූ ඉන්දීය ණය ක්‍රමය යටතේ සහාය බලාපොරොත්තු වන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා කැලණිවැලි දුම්රිය මාර්ගය වැඩිදියුණු කිරීම සඳහා රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ යෝජිත හවුලකාරිත්ව ව්‍යාපෘතිය පිලිබඳව සළකා බැලීමට තමන් සුදානම් බව එහිදී ඉන්දීය අමාත්‍යවරයා පැවසීය.

මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, අතිරේක ලේකම් මහින්ද ගුණරත්න යන මහත්වරු එක්ව සිටියහ.

ඉන්දීය දූත පිරිසට මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ, විදේශ අමාත්‍යංශයේ සම ලේකම් පුනීත් අග්‍රවාල්, අධ්‍යක්ෂ සන්දීප් කුමාර් බයියාප්පු, නියෝජ්‍ය ලේකම් නිධි චෞද්‍රි, නියෝජ්‍ය ලේකම් රඝූ පූරි සහ නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් ජේකොබ් යන අය ඇතුළත් වූහ.